විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට නිසි ආරක්ෂාවක් නොමැති බවත්, අධ්‍යාපනය ප්‍රතිව්‍යුහ ගත කිරීමෙන් වතුකරයේ පාසල් ගණනාවක් වැසී යාමේ අවධානමකට පත් වී ඇති බවත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක, කඳුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් පවසනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකුට නිසි ආරක්ෂවක් නොමැති වීම හමුවේ තමන්ට ඡන්දය ලබා දුන් මහජනතාව අතරට ගොස් රැස්වීමක් පවා පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කථා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද මන්ත්‍රීවරයා කියනවා.
මන්ත්‍රීවරයා ඒසේ පැවසුවේ ඊයේ (25) හැටන් නගරයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වී. රාධාක්‍රිෂ්ණන් කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආරක්ෂාව එක හා සමානව ලබා දිය යුතුව ඇතත්, රජය නියෝජනය කරන මැති ඇමතිවරුන්ට පමණක් දැඩි ආරක්ෂාවක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවයි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද මෙම ආරක්ෂාව ලබා දෙන ලෙස කොතෙක් ඉල්ලීම් කළද එයට රජයෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබෙන බවද මන්ත්‍රීවරයා පැවසුවා.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට නොහැකි නම් මේ රටේ මන්ත්‍රීවරුන්ට සහ ජනතාවට නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් ඇති කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව ද හෙතෙම පැවසුවා.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් ප්‍රතිව්‍යුහ ගත කිරීමට ගෙන ඇති තීරණය හොඳ ක්‍රියාවක් බවත්, අග්‍රාමාත්‍යවරිය විසින් එම යෝජනාව ක්‍රියාවට නැංවීමට ගෙන යන වැඩපිළිවෙළ පැසසිය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
එම යෝජනාව ක්‍රියාවට නැංවීමේදී වතුකරයේ ළමුන් 50ට වඩා අඩු පාසැල් ගණනාවක් තිබෙන බවත්, එම පාසල් වැසී යෑමේ අවධානමක් පවතින නිසා එම පාසල් පවත්වාගෙන ගොස් පාසල් ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිය යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.


