රජයේ රෝහල් පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ වර්ග 380කට අධික සංඛ්‍යාවක බරපතල හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු රැසක් අනාවරණය කළේය.
සේනාරත්න මහතා අනාවරණය කළ තවත් බරපතල තත්ත්වයක් වන්නේ, පසුගිය මාස හතරක කාලය තුළ රජයේ රෝහල් ඇතුළු සියලුම රෝහල් රුධිර පරීක්ෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබීමයි.
මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන්ට රුධිර පරීක්ෂණ පිටතින් සිදුකර ගැනීමට සිදුව ඇති අතර, ඒ සඳහා අසරණ රෝගීන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබේ.
තමන් සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී රෝගී සත්කාරය වෙනුවෙන් රෝහලෙන් පිටත පරීක්ෂණ පැවැත්වීම තහනම් කළ බවද ඒ මහතා සිහිපත් කළේය.
තවත් බරපතල තත්ත්වයක් හෙළි කරමින් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශල්‍යකර්ම සඳහා භාජනය වන රෝගීන්ට දැන් වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා ලැයිස්තුවක් රෝහල් මඟින් ලබා දෙන බවයි.
බයිපාස් සැත්කමක් සඳහා රෝගියකුට අවම වශයෙන් රු. 50,000ක ලැයිස්තුවක් ලබා දෙන බවත්, ඇතැම් අවස්ථාවලදී එය රුපියල් 100,000 ක් දක්වා ඉහළ යා හැකි බවත් වෛද්‍යවරයකු තමන්ට පැවසූ බව රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
මෙමගින් අසරණ රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බව පෙන්වා දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, එවැනි තත්වයන් යටතේ රෝගීන් මුදල් කළමනාකරණය කර ගන්නේ කෙසේදැයි රජයෙන් ප්‍රශ්න කරයි.


