චිලී රාජ්‍යයේ මධ්‍යම සහ දකුණුදිග ප්‍රදේශ පුරා පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් ඉරිදා වන විට අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීහු පවසති. අධික උණුසුම් කාලගුණයක් පවතින පසුබිමක හටගත් මෙම ගින්නෙන් අක්කර දහස් ගණනක වනාන්තර විනාශ වී ඇති අතර නිවාස සිය ගණනක් අළු බවට පත්ව තිබේ.
චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් විසින් අගනුවර වන සන්තියාගෝ සිට කිලෝමීටර් 500ක් (සැතපුම් 300ක්) පමණ දකුණින් පිහිටි බයෝබියෝ (Biobio) සහ අසල්වැසි නියුබ්ලේ (Ñuble) ප්‍රදේශවල ‘ව්‍යසනකාරී තත්ත්වයක්’ (State of catastrophe) ප්‍රකාශයට පත් කර ඇත.
මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, දැනට අක්කර 21,000ක් (හෙක්ටයාර 8,500ක්) පුරා පැතිර ඇති සක්‍රීය ලැව්ගිනි පාලනය කිරීම සඳහා හමුදාවේ සහාය ලබා ගැනීමට වැඩි සම්බන්ධීකරණ අවස්ථාවක් හිමිවේ.
බයෝබියෝ ප්‍රදේශයේ දැඩි ලෙස පීඩාවට පත් පෙන්කෝ (Penco) නගරයේ සිට ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ ජනාධිපති බෝරික්, විපතට පත්වූවන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය. පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බවත් නිවාස 300ක් විනාශ වී ඇති බවත් මූලික වාර්තා පෙන්වා දුන්නද, හානියේ තරම ගණනය කරන විට එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.
බයෝබියෝ ප්‍රදේශයේ පමණක් විනාශ වූ නිවාස සංඛ්‍යාව මේ වන විටත් 1,000 ඉක්මවිය හැකි බවට ඔහු ඇස්තමේන්තු කළේය. දැනටමත් කඳුකර ප්‍රදේශවල පැතිර යන ගින්න හේතුවෙන් පුද්ගලයන් 50,000කට පමණ තම නිවාස අතහැර පලා යාමට සිදුව ඇත.
“මේ වගේ හදිසි අවස්ථාවක අපේ පළමු ප්‍රමුඛතාවය ගින්න නිවා දැමීමයි. නමුත් මෙහි විශාල මානුෂීය ඛේදවාචකයක් තිබෙන බවත්, පවුල් විශාල ප්‍රමාණයක් පීඩා විඳින බවත් අප අමතක නොකළ යුතුයි. මෙය ඉතා දුෂ්කර කාලයක්,” යැයි ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, රජයේ සහාය ලැබීමට ප්‍රමාද වූ බව පවසමින් ප්‍රාදේශීය බලධාරීන්ගෙන් විවේචන එල්ල විය. “ගරු ජනාධිපතිතුමනි, මා පැය හතරක සිට මෙහි සිටිනවා. මුළු ප්‍රජාවක්ම ගිනි ගන්නවා, නමුත් රජයේ නිලධාරියෙකුගේ පැමිණීමක් නැහැ,” යැයි පෙන්කෝ නගරාධිපති රොඩ්‍රිගෝ වේරා ගුවන් විදුලි නාලිකාවකට පවසා තිබුණි.
පවතින අධික උෂ්ණත්වය සහ තද සුළඟ හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු අතිශය දුෂ්කර වී ඇත. ඉරිදා දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 (ෆැරන්හයිට් 100) ඉක්මවා ගිය අතර, සඳුදා දිනය දක්වා මෙම වියළි කාලගුණය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසු හදිසියේම පැතිර ආ ගින්න හේතුවෙන් තමන් කොටු වූ බවයි. “බොහෝ අය හිතුවේ ගින්න වනාන්තර සීමාවේ නතර වේවි කියලා, ඒ නිසා ඔවුන් ඉවත් වුණේ නැහැ. නමුත් එය සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර වුණා. කිසිවෙක් මෙවැනි දෙයක් අපේක්ෂා කළේ නැහැ,” යැයි 55 හැවිරිදි ජෝන් ගුස්මාන් පැවසීය.
ගින්නෙන් පෙන්කෝ නගරයේ වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර වාහන, පාසලක් සහ දේවස්ථානයක් ද ඊට ගොදුරු වී තිබේ. රජය විසින් එම ප්‍රදේශයට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇත. නිවාස තුළ, මහා මාර්ගවල සහ වාහන තුළ පිළිස්සී මියගිය පුද්ගලයන්ගේ සිරුරු සොයාගෙන ඇත.
චිලී රාජ්‍යයේ මධ්‍යම සහ දකුණුදිග ප්‍රදේශවල සෑම වසරකම ගිම්හාන කාලයේදී ලැව්ගිනි ඇති වන අතර, වසර ගණනාවක සිට පවතින නියඟය හේතුවෙන් මෙම තත්ත්වය දරුණු වී තිබේ. 2024 වසරේදී ද චිලී වෙරළ තීරයේ ඇති වූ ලැව්ගිනිවලින් පුද්ගලයන් 130 දෙනෙකු මියගිය අතර, එය 2010 භූමිකම්පාවෙන් පසු එරට සිදු වූ දරුණුතම ස්වාභාවික ව්‍යසනය විය.
මේ අතර අසල්වැසි ආර්ජන්ටිනාවේ දකුණුදිග පැටගෝනියා ප්‍රදේශයේ ද වියළි කාලගුණය හේතුවෙන් අක්කර දහස් ගණනක් විනාශ කරමින් ලැව්ගිනි පැතිර යමින් පවතී.







