මෙරට සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මස වන විට, රුපියල් ට්‍රිලියන 30.9ක් යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
පසුගිය දිනෙක 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කල පැනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (11) අනිල් ජයන්ත මහතා මේ බව කියා සිටියා.
එහිදි ඔහු පැවසුවේ ඊට දේශීය ණය ට්‍රිලියන 19.6 ක්ද විදේශීය ණය ට්‍රිලියන 11.3 ක්ද ඇතුළත් බවයි.
වත්මන් ආණ්ඩුව පත්වූ පසුව පසුගිය අගෝස්තු මාසය වන විට ලබාගෙන ඇති දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1393ක් බවත් විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 526ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
තවද එම විදේශීය ණය වර්ගීකරණය කළ විට ද්වීපාර්ශ්වීය ණය ප්‍රමාණය ට්‍රිලියන 3.3 ක් සහ බහු පාර්ශ්වීය ණය ට්‍රිලියන 4.2ක්, ස්වෛරී බැඳුම්කර ට්‍රිලියන 3.1ක්, කාලීන ණය පහසුකම් ට්‍රිලියන 0.7ක් බවද පැවසුවා.
පසුගිය වසරේ රජය ගෙවූ ණය ප්‍රමාණය ණය වාරික රුපියල් බිලියන 310ක් සහ පොලිය බිලියන 211ක් ලෙස රුපියල් බිලියන 521 ක් බව පැවසු අනිල් ජයන්ත මහතා දේශීය ණය වාරික 5391 ක් සහ පොලිය 1340 ක් වශයෙන් රුපියල් බිලියන 6731 ක් බව සඳහන් කළා.
ඉදිරි වසර පහක කාලය තුළ රජයේ ආර්ථික වර්ධන වේගය අවමය සියයට 4.5 ක මට්ටමක පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

