සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සහායක නිලධාරියෙකුට, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ (20) රාත්‍රියේ කොලොන්න ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ බව පවසන පොලිස් සහායක නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
තමන් සේවය නිම කර නිවස බලා යමින් සිටියදී මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් තමන්ට පහර දුන් බව එම නිලධාරියා පවසයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ද අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව කොලොන්න පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මන්ත්‍රීවරයා පවසන්නේ අදාළ නිලධාරියා බීමත්ව සිටි බවත්, ඔහු මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අවහිර කරමින් තර්ජනය කළ බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් දෙකක් මගින් මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති පරස්පර විරෝධී කරුණු සහ සිද්ධියට අදාළ සාක්ෂි විමර්ශනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

