ලුණුවිල පොලිස් වසමේ තුම්මෝදර බෝලවත්ත මාර්ගයේ පෙස්ටස් පෙරේරා මාවත ප්‍රදේශයේදී ඊයේ (26) සවස් කාලයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගියා.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරින් පැදිකරු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.
මරණයට පත්වී ඇත්තේ වයස අවුරුදු 18ක් වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, මිද්දෙණිය පොලිස් වසමේ තලාව දෙබොක්කාව ප්‍රදේශයේදී ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කානුවකට වැටී සිදුවූ අනතුරින් 31 හැවිරිදි පැදිකරුවෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගියා.
වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී සිදවී තිබූ අනතුරකින් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන් අවුරුදු 21 හා 25 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදංචිකරුවන්.
කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටී ඊයේ (26) අලුයම් කාලයේදී මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
අනතුරින් මාර්ගයේ පෙරලී ගොස් තිබූ ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ පිරිමි දරුවෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.
මෙලෙස මරණයට පත්වී ඇත්තේ වයස අවුරුදු 14ක් වූ කොතලාවල, කඩුවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

