බියගම පොලිස් වසමට අයත් ගැමුණු මාවත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙන් බියගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (09) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු රැකියාව සඳහා බියගම ප්‍රදේශයේ කුලී පදනම මත නේවාසික කාමරයක රැඳී සිට තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මරණකරු ඔහු පදිංචිව සිටි කාමරය ඉදිරිපිට නවතා තිබූ ඔහුට අයත් ත්‍රීරෝද රථය ගිනි ගැනීමට ලක්ව ඇති බව දැක, ඔහු කාමරයෙන් ඉවතට පැමිණ තිබෙනවා.
එහිදී රැක සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවයි.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තරුණයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

