මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරකු හෝ කොන්දොස්තරවරයකු හඳුනා ගැනීමට හැකි වුවහොත්, එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
තමන්ගේ බස් රථ රියදුරා හෝ කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා ද, නැද්ද යන්න සම්බන්ධයෙන් බස් රථ හිමියා දන්නා බවයි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස් රථ රියදුරු හෝ කොන්දොස්තරවරයකු සිටීමට නොහැකි බවත්, බලපත්‍රය අහිමි කර ගන්නවා වෙනුවට, වගකීමෙන් යුතු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුණු පිරිස් ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් බස් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.

