මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් විසි කිරීමේ සිද්ධියකට සම්බන්ධ වූ බන්ධනාගාර නියාමකවරයෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කළ, අහංගම ප්රදේශයේ පදිංචි නිලධාරියෙක්.
පසුගිය දෙසැම්බර් 09 වන දින දුරකථන උපාංග ඇතුළු තහනම් භාණ්ඩ කිහිපයක් අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයට ඉහළින් ඇතුළට විසි කර තිබූ අතර, මේ පිළිබඳව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හෙළි වී ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු නොව, බන්ධනාගාරයේම සේවය කරන මෙම නිලධාරියා විසින් අදාළ පාර්සලය ඇතුළට විසි කර ඇති බවයි.
ඒ අනුව සැකකාර බන්ධනාගාර නියාමකවරයාව ඊයේ (21) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

