මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මාලදිවයින් ජනාධිපතිවරයාගේ එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
දෙරටේ ධීවර කර්මාන්තයට අදාළ අත්දැකීම් හුවමාරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා, මාලදිවයිනේ පවතින නැවුම් මත්ස්‍ය සම්පත් සහ ශ්‍රී ලංකාවේ දියුණුව පවතින Canned Fish කර්මාන්තය ඒකාබද්ධ කරමින් නව නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මාලදිවයින් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන සැකසීම (processing) සහ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන නිපදවීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේම දැඩි උනන්දුව පළ වී ඇත.
දැනට “Made in Sri Lanka” ලේබලය සහිත ඇතැම් නිෂ්පාදන ඩුබායි වෙළෙඳපොළ හරහා මාලදිවයිනට අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන අතරමැදියන්ගෙන් තොරව සෘජුවම ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම වැඩපිළිවෙළ මගින් දෙරටටම උසස් ආර්ථික වාසි අත්වන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

