පැවැති ආපදා තත්ත්වය නිසා වී ගොවීන්ට සිදුවූ වගා හානි වෙනුවෙන් රුපියල් කෝටි 153.5ක් මේ වන විට එම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැරකිරීමට කටයුතු යෙදූ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සඳහන් කරනවා.
වගාහානි සිදුවූ කුඹුරු හෙක්ටයාර 44, 000ක් වෙනුවෙන් ගොවීන්ගෙන් අයදුම් පත් ලැබී අතර එම කුඹුරු බිම් නිරික්ෂණයෙන් පසු මෙම වන්දි මුදල් ගෙවීම් මෙම 30 වැනිදාට පෙර සිදු කරන බව ද ඒ මහතා පවසනවා.
සිදු වූ වගා හානි සම්බන්ධයෙන් වී ගොවීන්ගෙන් මෙන්ම අනෙකුත් වගාවන් විනාශ වූ ගොවීන්ගෙන් අයදුම්පත් මේ වන විටත් ලැබෙමින් පවතින බව ද රණතුංග මහතා පවසනවා.
සියලුම දිස්ත්රික්කයන්හි ගොවීන්ට වගා හානි සිදුවී ඇති අතර ඒ අතරින් වී සහ බඩඉරිඟු ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 150, 000ක දීමනාවක්ද, එළවළු සහ වෙනත් භෝග සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02 ක මුදලක්ද හිමි වනවා.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාළ වන්දි මුදල ගොවි බැංකු ගිණුම්වලට සෘජුවම බැර කිරීමට නියමිතයි.
මේ වන විටත් වගාහානි දීමනාව සඳහා අයදුම් නොකළ ගොවීන් වේ නම් අදාළ අයදුම්පත ප්රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෙතින් ලබාගෙන එය ප්රදේශයේ ගොවි සංවිධානවල ලේකම්/සභාපති, ආර්ථික සංවර්ධණ නිලධාරි හෝ සමෘද්ධි නිලධාරි සහ කෘෂිකර්ම උපදේශකගේ අත්සනින් යුතුව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වෙත කඩිනමින් ලබාදෙන ලෙසද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කරනවා.

