දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

පසුගිය 22 වනදා මෙරටට පැමිණි මෙම නියෝජිත පිරිස දිවයින පුරා සංචාරය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සියැසින් දැක බලා ගත් අතර, එහි බලපෑමට ලක් වූ ජනතාවද හමු වුණා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයයථා තත්ත්වයට පත්වෙමින් තිබියදීසිදු වූ මෙම ව්‍යසනය සහ ඒ හමුවේ මුහුණදීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය පිළිබඳ මෙහිදී සිය කණගාටුව පළ කළ නියෝජිත පිරිස ව්‍යසනයේ අභියෝග දරා ගනිමින් ජනතාවට සහන සැලසීමට, යටිතල පහසුකම් සංවර්ධනයටසහ ජන ජීවිතය යළි ගොඩනැංවීමට රජය ගත් කඩිනම් පියවර ඇගයීමට ලක් කළා.

ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ අන්දම තමන් සමඟ කතා කළ බොහෝ ජනතාවගේ ඇගයීමට ලක් වූ බවත්, එය රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙහිදී නියෝජිත පිරිස පෙන්වා දුන්නා.

එමෙන්ම, පසුගිය වසරේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යන ලද ඉහළ මුල්‍ය විනය මෙම අභියෝගයට මුහුණ දීමේදී වැදගත් සාධකයක් වූ බව පෙන්වා දුන් නියෝජිත පිරිස එම කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජයට හැකිවූයේ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අතිරික්තයක් පැවතීම නිසා බවත් එය ඉතා අගය කළ යුතු තත්ත්වයක් බවත් සඳහන් කළා.

දරුණු ආපදා තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව මේ වන විට නිසි ආර්ථික දිශානතියක ගමන් කරමින් සිටින බව පෙන්වා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ 06 වන වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා මෙම මාර්තු මාසය වන විට යළි ආරම්භ කරන බවත් සඳහන් කළා.

මෙම ව්‍යසනයෙන් විශාල ලෙස බලපෑමට ලක් වූයේ දරිද්‍රතාවෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව බවත්, ග්‍රාමීය ජන ජීවිතය සමඟ සෘජුව සම්බන්ධවන යටිතල පහසුකම් සහ ජීවනෝපායමාර්ග විශාල ලෙස බිඳ වැටුණු බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රාමීය ජන ජීවිතය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවනෝපාමාර්ග යළි සකස් කර දීම වෙනුවෙන් මෙම රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනය වෙන් කළ බවද කියා සිටියා.

මෙම පියවර කිසිසේත් නිසි මූල්‍ය කළමනාකරණයෙන් බැහැර වී වගකීම් විරහිත ක්‍රමවේදයකට අවතීර්ණ වීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරෙන ආර්ථික ජයග්‍රහණ සැබෑලෙසම සාමාන්‍ය ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවත්, පාස්කු ප්‍රහාරය, පසුගිය ආර්ථික කඩාවැටීම ඇතුළු තත්ත්ව හමුවේ දීර්ඝකාලයක් තිස්සේ පීඩාවට පත් මෙරට සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟීම වෙනුවෙන් රජය ප්‍රමුඛතාව දී තිබෙන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, රජය ඉදිරි වැඩසටහන් සැලසුම් කර ඇත්තේ එම දිශානතිය ඔස්සේ බවත්, ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද මෙහිදී දෙපාර්ශ්වයේ එකඟතාව පළ කළා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුවයන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන්එහි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂKrishna Srinivasan, ආසියා සහ පැසිපික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂSanjayaPanth, දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝජිත Martha woldemichaelයන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.

Share.
Leave A Reply

Exit mobile version