දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණු නඩු දෙකක් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ, එම ආයතනයට කුලී පදනම මත වාහන මිලදී ගැනීමේදී සිදුකළ අවිධිමත් ක්‍රියාවලින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩු දෙක ගොනු කර තිබුණා.
මින් එක් නඩුවක් කැඳවූ අවස්ථාවේදී විත්තියේ සාක්ෂි කැඳවීම සිදුවූ අතර, ඒ යටතේ විත්තිකාර සරණ ගුණවර්ධන විත්ති කූඩුවේ සිට අධිකරණයට ප්‍රකාශයක් සිදු කළා.
යුදමය වාතාවරණය පැවති අවස්ථාවේ තමන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ බවත්, එම වකවානුවේ ලොතරැයි අලෙවිය පහත වැටී තිබුණු බවත්, ලොතරැයි අලෙවිය නඟා සිටුවීම සඳහා නව ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවූ බවත්, ඒ සඳහා මෙම වාහන කුලී පදනම මත ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළ අතර, මෙම ක‍්‍රියාවලියේදී කිසිදු ආකාරයක අක්‍රමිකතාවක් සිදු නොවූ බවද එහිදී පවසා සිටියා.
ඉන් අනතුරුව, එම නඩුව යළි ජනවාරි මස 26 වැනිදා කැඳවීමට නියම වූ අතර, ඔහුට එරෙහිව ගොනු කර තිබූ තවත් නඩුවක් දෙසැම්බර් මස 16 වැනිදා කැඳවීමට ද දින නියම වුණු බවයි සඳහන් වන්නේ.

