අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහි විශ්වාසභංග යෝජනාව කිසිසේත්ම ආපස්සට ගෙන නොමැති බවත් එය නියමිත වේලාවට ඉදිරිපත් කරන බවත් හරි නම් අගමැතිනිය ඊට පෙර අධ්‍යාපන අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අගමැතිනිය අපොහොසත් වීම නිසා මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ ජනාධිපතිවරයා එම ප්‍රසංස්කරණ නැවැත්වීමට ක්‍රියාකර තිබෙන බවත් මේ නිසා අගමැතිනිය වහාම කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට එය භාර දීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 50කට වඩා අධික මුදලක් රජයට පාඩු වී ඇති බවත් මේ පිළිබඳව සියලු කරුණු ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

රටේ අනාගතය බාර ගැනීමට සිටින පාසල් දරුවන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසි පරිදි ඉදිරිපත් කිරීමට වර්තමාන ආණ්ඩුවට නොහැකි නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වැනි කරුණු ගැන වර්තමාන ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම විහිළුවක් බවද ඔහු පෙන්වා දෙනවා.

තමා ස්විස්ටර්ලන්තයේ සිට කඩිමුඩියේ පැමිණියේ විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට බව අගමැතිනිය පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් එය නිවැරදි නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කියා සිටින්නේ ඩාවෝස් නුවර ආර්ථික සමුළුව නිමවීම හේතුවෙන් අගමැතිනියට නියමිත දින ගණන සිට ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවූ බවයි.

ගුරු පුරප්පාඩු 43000 ක් තිබියදීත්, ස්මාර්ට් බෝඩ් පන්ති කාමරවලට නිසි පරිදි ලබා දී නොමැතිව තිබියදීත් එවැනි යටිතල පහසුකම් සම්පාදනය කිරීමකින් තොරව නම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද කියා තමා අගමැතිනියගෙන් ප්‍රශ්න කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එම නිසා අගමැතිනියට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කිසිසේත්ම ආපස්සට ගෙන නොමැති බවත් එය සුදුසු අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මේ පිළිබඳව ලබන සතියේ දී රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share.
Leave A Reply

Exit mobile version