මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය තුළ අඛණ්ඩව සිව්වන දිනටත් සිදුකරගෙන යන අරගලයෙන් ඉවත් වන්නේ නම්, ඒ සඳහා බලධාරීන්ගෙන් නිශ්චිත පොරොන්දුවක් ලැබිය යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා අවධාරණය කරයි.
බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි මුලින් පැවසූවද පසුව අධිකරණ අමාත්‍යංශය යටතට පවරා තිබෙන මෙම රජයේ දේපළ, විරෝධතාවය සඳහා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව මේ වන විට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මෙම අරගලය ආරම්භ කරනු ලැබුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන ලෙස ආණ්ඩුවට පීඩනයක් ලබා දීමට බවත්, මේ වන විට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද එකම පැත්තේ සිටගනිමින් ශිෂ්‍යයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බවත් ඔහු පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් මැදිහත් වී ලබන අද දිනයේදී සාකච්ඡාවක් ලබා දී ඇති අතර, එහිදී මල්වාන භූමිය විශ්වවිද්‍යාල පද්ධතියට පවරා දීම සහ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සහ සහතික කළ පිළිතුරක් ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
“මෙතනින් ඉවත් වීමක් සිද්ධ කරනවා නම් ඉවත් වීමක් සිද්ධ කරන්නේ නිශ්චිත බලධාරීන් ඇවිල්ලා මේ සම්බන්ධයෙන් නිශ්චිත පොරොන්දුවක් අපිට ලබා දෙන්න ඕනේ” යැයි ඔහු පවසා සිටියි. එම සාකච්ඡාවේදී නිසි තීන්දුවක් නොලැබුණහොත් හෝ නැවත වතාවක් ශිෂ්‍යයන්ව “වටේ යවන” ක්‍රියාවක් සිදු වුවහොත්, දැනට තාවකාලිකව නවත්වා ඇති ක්‍රියාමාර්ග නැවත ආරම්භ කරන බවට ඔහු අනතුරු අඟවයි.
එවැනි අවස්ථාවකදී සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම ඒකරාශී කරමින් දැවැන්ත විරෝධතා රැලියක් සහ විවිධ මට්ටමේ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, මෙම ඉල්ලීම් දිනාගන්නා තෙක් සටන අත්නොහරින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි

