විශ්වාසභංග යෝජනාවට පෙර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස් නොවූ නිසා ඔහු ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ දී ඡන්දය ලබා දුන් මාලිමාවේ එකසිය පනස් තුන්දෙනාම මෙම ගල් අඟුරු වංචාව වෙනුවෙන් පෙනී සිටිය බව අද වන විට ඔප්පු වී තිබෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කරනවා.
තිබෙන චෝදනාවල බරපතලකම නිසා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙසට විපක්ෂය මීට පෙර අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බවත් ඒ කිසිම ඉල්ලීමකට ඇහුම්කන් නොදුන් අතර මේ වන විට තත්ත්වය ඉතා බරපතල බව හැමෝටම වැටහෙන නිසා කුමාර ජයකොඩි මහතාට බලශක්තිය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා අද(17) දින මෙම ඉල්ලා අස්වීම සිදුවී තිබෙන බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
පළමු ගල් අඟුරු නැවේ සිට මෙම ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු බව පුන පුනා ප්‍රකාශ කළ බවත් මීට පෙර සිටි ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස්වූ හේතුවද පැහැදිලි කරමින් මේ ගැන සොයා බලන ලෙසට ආණ්ඩුවට කෙතරම් ප්‍රකාශ කළත් ඒ කිසිදු අවස්ථාවකදී ආණ්ඩුව ඒ ගැන ගණන් නොගෙන විපක්ෂයට අවලාද නගමින් කටයුතු කළ බවත් මේ වනවිට රුපියල් බිලියන විස්සකට වඩා අධික පාඩුවක් රටට සිදුවී ඇති බව විගණන වාර්තා ඇතුළු අනෙකුත් වාර්තාවලින් පෙන්නුම් කෙරෙන නිසා ආණ්ඩුවට තවදුරටත් ඇමතිවරයා ආරක්ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවද අජිත් පී. පෙරේරා සඳහන් කරනවා.
බලශක්ති අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වුවද මෙම මහා වංචාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව විපක්ෂය නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත් වර්තමාන ආණ්ඩුව යටතේ පරීක්ෂණ නිසියාකාරව සිදු වන්නේ නොමැති නම් ඉදිරි ආණ්ඩුවකදී මෙම ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ ඇමති මණ්ඩලයට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේදී බලශක්ති අමාත්‍යවරයා ආරක්ෂා කිරීමටත් ගල් අඟුරු වංචාව වසා ගැනීමටත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් ඉතා ප්‍රබල උත්සාහයක් ගත් අයුරු මුලු රටටම දැකබලා ගැනීමට හැකි වූ බවත් එම විවාදයේදී බලශක්ති අමාත්‍යවරයාද විපක්ෂයට චෝදනා කරමින් ඔහු කිසිදු වරදක් සිදු කර නොමැති බව ප්‍රකාශ කළ බවත් නමුත් ඔහුගේ මෙම ඉල්ලා අස්වීම තුළින් විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ චෝදනා සාධාරණ බව පසුව හෝ තේරුම් ගෙන තිබෙන බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
මෙම මහා ගල් අඟුරු වංචාවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටත් පැමිණිලි සිදු කර ඇති අතර එම පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීමට එම ආයතන ක්‍රියාකළ යුතු බව ද අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

