ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ඉන්දීය කාන්තා කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (28) සමත් විය.

තරග 5කින් යුත් මෙම තරගාවලියේ තිරුවානන්දපුරම්හිදී ඊයේ (28) පැවැති තරගයේ දී කඩුලු 2කට ලකුණු 221ක් රැස්කරමින් ඔවුන් මෙම කඩඉම පසුකළේය.

මීට පෙර ඔවුන් රැස්කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 2024 වසරේ දී බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 217/4ක් රැස්කර තිබීමය.

ඉන්දීය ඉනිමට ප්‍රහාරාත්මක ආරම්භයක් දුන් ස්ම්‍රිති මන්දනා හා ශෆාලි වර්මා පළමු කඩුල්ලට ලකුණු 162ක් රැස්කළේය.

එහිදී මන්දනා පන්දු 48කින් ලකුණු 80ක් රැස්කළ අතර, ශෆාලි වර්මා පන්දු 46කින් ලකුණු 79ක් රැස්කළාය.

ඊට අමතරව රිචා ගෝෂ් පන්දු 16කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 40ක් රැස්කළේය.

මේ අතර මෙහිදී මන්දනා රැස්කළ ඉනිමත් සමග ඇය රැස්කළ ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 10,000 සීමාව පසුකළේය.

ඒ අනුව ඇය අඩුම ඉනිම් (281) සංඛ්‍යාවකින් එම කඩඉම පසුකළ ක්‍රීඩිකාව බවට පත්වූවාය.

ඇය විසින් පසුකරනු ලැබුවේ මිතාලි රාජ් ඉනිම් 291කින් පිහිටුවා තිබූ වාර්තාවය.

සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ අද (28) පැවති 4වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද පරාජයවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

කෙසේ නමුත් පෙර තරගවලදී දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂාවල සැලකිය යුතු වෙනසක් මෙම තරගයේදී දැකගැනීමට හැකිවිය.

තිරුවානන්දපුරම්හිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 222ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

මෙය ජාත්‍යන්තර විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් ලබාදුන් හසිනි පෙරේරා පන්දු 20කින් ලකුණු 33ක් හා චමරි අතපත්තු පන්දු 37කින් ලකුණු 52ක් රැස්කිරීමට සමත්වූහ.

ඊට අමතරව හර්ෂිතා සමරවික්‍රම පන්දු 13කින් ලකුණු 20ක්ද, නිලක්ෂිකා සිල්වා පන්දු 11කින් ලකුණු 23ක්ද රැස්කළහ.

තරග 5කින් යුත් තරගාවලිය තරග 4-0ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිට පෙරමුණගෙන සිටියි.

Share.
Leave A Reply

Exit mobile version