ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
මෙම දූත පිරිස අනිද්දා (21) දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිත බවයි ගුවන් හමුදාව පවසන්නේ.
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා අද (19) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක බලකා ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළ බව ද ගුවන් හමුදාව පවසනවා.
අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියාව ඉතා උත්කර්ෂවත් අන්දමින් සම්මාන මුර පෙළපාලියක් මඟින් පිළිගත් බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
මෙම සංචාරය අතරතුර දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර නිල හමුවක් ද පැවැත්වුණු අතර, ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද හමුවී සාකච්ඡා පවත්වා ඇති බවද ගුවන් හමුදාව සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ආරක්ෂක සබඳතා සහ අන්‍යෝන්‍ය මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වු බවද ගුවන් හමුදාව පවසනවා.
මෙම නිල සංචාරය අතරතුරදී ගුවන් හමුදා ප්‍රධානියා ඇතුළු පිරිස ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙනවා.

