අල් ජසීරා මුබාෂර් (Al Jazeera Mubasher) සේවයේ ගාසා වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් විෂා ඊයේ (08) ගාසා නගරයට බටහිරින් පිහිටි අල්-රෂීඩ් වෙරළබඩ පාරේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.

මෙම ගුවන් ප්‍රහාරයත් සමග ඔහු ගමන් කළ මෝටර් රථය ගිනිගෙන විනාශ වූ බවයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ.

2023 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ සිටම ඊශ්‍රායලය දිගින් දිගටම මාධ්‍යවේදීන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ගාසා රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, එතැන් සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් අවම වශයෙන් 262 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා මාධ්‍ය ජාලය සඳහන් කළේ, “අල් ජසීරා මුබාෂර් වාර්තාකරු මොහොමඩ් විෂා ඉලක්ක කර ඝාතනය කිරීමේ මෙම සාපරාධී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින” බවයි.

“මෙය සියලු ජාත්‍යන්තර නීති සහ සම්මතයන් උල්ලංඝනය කිරීමක් මෙන්ම, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම සහ සත්‍යයේ හඬ නිහඬ කිරීම සඳහා ක්‍රමානුකූලව ගෙන යන ප්‍රතිපත්තියක් පිළිඹිබු කරන්නක්” බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

2018 වසරේදී ආයතනය හා සම්බන්ධ වූ මොහොමඩ් විෂාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරන අල් ජසීරා ආයතනය අවධාරණය කළේ, මෙය අහඹු සිදුවීමක් නොව මාධ්‍යවේදීන් බිය වැද්දීම සහ ඔවුන්ගේ වෘත්තීය රාජකාරි ඉටු කිරීම වැළැක්වීම සඳහා හිතාමතාම සිදු කළ අපරාධයක් බවයි.

ගාසා නගරයේ සිට වාර්තා කරන අල් ජසීරා හි ඊබ්‍රාහිම් අල්-ඛලීලි පවසන්නේ, ගාසා නගරයේ ප්‍රධාන මාර්ගයක ගමන් කරමින් සිටියදී විෂා ඝාතනයට ලක්වීමෙන් පෙනී යන්නේ ඊශ්‍රායල හමුදාවේ අඛණ්ඩ ‘සටන් විරාම’ උල්ලංඝනය කිරීම් හමුවේ තත්ත්වය තවදුරටත් දරුණු වෙමින් පවතින බවයි.

#newsforcelk #newsforcelklive #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #newsforcelkjvpnews #newsforcepoliticalnews #NewsForceLK #Newsforcelkvideo #newsforcelkviralvideo #newsforcelkhotnewsvideo

Share.
Leave A Reply

Exit mobile version