ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය අද (29 වැනිදා) ගුවහාටි හිදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතය.
එංගලන්තය මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 11ක් සමගින් හිමිකරගත් අතර ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගත් දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයට පත් විණි. තරගාවලියේ මූලික වටයේ මෙම කණ්ඩායම් දෙක අතර පැවැති තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් එංගලන්ත කණ්ඩායමට හිමිකර ගත්තේය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 69කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නියෝ සමත් වූ අතර එම ඉලක්කය පන්දුවාර 14.1කදී කිසිදු කඩුල්ලක් නොදැවී හඹායාමට එංගලන්ත ආරම්භක පිතිකාරිණියෝ සමත් වූහ. මෙම තරගය පැවැති ගුවහාටි ක්‍රීඩාංගණයේම අද තරගයත් පැවැත්වීම හේතුවෙන් තරගය ජය ගැනීමේ යම් වාසියක් එංගලන්ත කණ්ඩායම සතුය.
මෙතෙක් කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය අවස්ථා 6කදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර, එයින් තෙවරක් ශූරතාව හිමිකරගෙන තිබේ. දකුණු අප්‍රිකාව කිසිදු අවස්ථාවක කාන්තා ලෝක කුසලාන එක්දින අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නොමැත. එබැවින් යම් හෙයකින් මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව මූලික වටයේ එක් තරගයක් පමණක් පරාජිතව සිටින එංගලන්ත කණ්ඩායම පරාජය කළහොත් එය ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන ප්‍රථම අවස්ථාව වනු ඇත.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය වන මූලික වටයේ සිව්වැනි ස්ථානය හිමි වූ ඉන්දියාව සහ මූලික වටයේ අපරාජිත ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට (19 වැනිදා) මුම්බායි හි ඩී.වයි. පාටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇත.


