අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර බීජිං නුවරදී පැවැති දෙදින ඉහළ පෙළේ සාකච්ඡාවලින් අනතුරුව, අමෙරිකානු දූත පිරිස ආපසු එරට බලා පැමිණීමට පෙර අසාමාන්‍ය ආරක්ෂක පියවරක් අනුගමනය කර තිබෙනවා.

ධවල මන්දිර නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ඔවුන් සමග ගිය අමෙරිකානු මාධ්‍යවේදීන්ට චීන බලධාරීන් විසින් තමන් වෙත ලබාදුන් සියලුම දේ ‘Air Force One’ ජනාධිපති නිල ගුවන් යානයට ගොඩවීමට පෙර ගුවන් තොටුපළේ තිබූ කුණු කූඩයකට දමා විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතේ ධවල මන්දිර වාර්තාකාරිනී Emily ගූඩින් සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, “චීනයෙන් ලැබුණු කිසිදු දෙයකට ගුවන් යානයට ඇතුළු වීමට අවසර නැත” යනුවෙන් දැඩි නිල නියෝගයක් පනවා තිබූ බවයි.

ඒ අනුව චීනයෙන් ලැබුණු ත්‍යාග, සමරු සටහන්, මාධ්‍ය සහ දූත පිරිස් හැඳුනුම්පත්, ලාංඡන මෙන්ම සංචාරය සඳහා භාවිත කළ තාවකාලික ජංගම දුරකථන (Buer phones) සියල්ල ගුවන් යානයේ පඩිපෙළ අසල තිබූ කුණු කූඩයකට දමා තිබෙනවා.

වාර්තාවලට අනුව, චීනයේ ඔත්තු බැලීමේ සහ සයිබර් නිරීක්ෂණ හැකියාවන් කෙරෙහි පවතින දැඩි අවිශ්වාසය හේතුවෙන් අමෙරිකානු බුද්ධි අංශ මෙම පියවර ගෙන තිබෙනවා.

චීනය විසින් ලබාදෙන විද්‍යුත් උපකරණ, මතක සටහන් හෝ වෙනත් දෑ හරහා දත්ත සොරකම් කිරීම (Malware) හෝ පුද්ගලයන් සහ ස්ථාන ලුහුබැඳීම (Tracking) සිදු කළ හැකි බවට අමෙරිකානු ආරක්ෂක අංශ සැක පහළ කරනවා.

මෙම ආරක්ෂක පියවරයන් සංචාරය ආරම්භයේ සිටම ක්‍රියාත්මක වී ඇති අතර ට්‍රම්ප්ගේ දූත පිරිස සිය පෞද්ගලික විද්‍යුත් උපකරණ කිසිවක් චීනයට රැගෙන විත් නොමැති බවත්, ඔවුන් සංචාරය පුරාම භාවිත කර ඇත්තේ චීනය තුළ සන්නිවේදනය සඳහා පමණක් වෙන්වූ තාවකාලික දුරකථන පමණයි.

ප්‍රසිද්ධියේ නායකයන් දෙදෙනා මිත්‍රශීලීව සහ සාර්ථක අනාගතයක් පිළිබඳව අදහස් දැක්වුවද, තිරය පිටුපස වොෂින්ටනය සහ බීජිං අතර පවතින දැඩි භූ-දේශපාලනික සහ ආරක්ෂක අවිශ්වාසය මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version