සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගම සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තම පෞද්ගලික ලේකම් හරහා අමාත්‍යාංශ ලේකම්වරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුකරයක වින්දිත බාලවයස්කාර දැරියකට අගතියක් සිදුවිය හැකි ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇති බව නිරීක්ෂණය වන බැවින්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය සහ පරිපාලන ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරිය එයින් උපදෙස් ලබාදී ඇති බව පෙනේ.

“ගණිකාවකගේ ප්‍රකාශයක් මත අපේ අටමස්ථානාධිපති හාමුදුරුවෝ අත්අඩංගුවට අරන්” යනුවෙන් සඳහන් ප්‍රකාශය සහිත වීඩියෝ සබැඳියක්ද අදාළ පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබේ.

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂා කිරීමේ පනත යටතේ වින්දිතයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බවත්, මෙවැනි ප්‍රකාශ හේතුවෙන් වින්දිත දැරියට බරපතළ මානසික හා සමාජීය අගතියක් ඇතිවිය හැකි බවත් අමාත්‍යවරියගේ ලිපියේ සඳහන් කර ඇත.

එමෙන්ම, බාලවයස්කාර දැරියකට අවමන් වන ආකාරයේ ප්‍රකාශ වාචික හිංසනයක් ලෙස සැලකිය හැකි බැවින්, ඒ සම්බන්ධයෙන්ද අදාළ අංශ වෙත යොමුකර කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස අමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දී තිබේ.

මීට පෙර පොලිස්පතිවරයාට ද මෙබඳුම පැමිණිල්ලක් කළාය.

Share.
Leave A Reply

Exit mobile version