මහනුවර නිත්තවෙල ක්රීඩාංගණයේ ඉදිරි රග්බි තරග පැවැත්වීම සඳහා ශ්රී ලංකා රග්බි ආයතනය (Sri Lanka Rugby) විසින් දැඩි කොන්දේසි මාලාවක් පනවා තිබෙනවා.
පසුගිය සතියේ මහනුවර ක්රීඩා සමාජය සහ CH & FC කණ්ඩායම අතර පැවැති තරගයේදී ඇති වූ විනය විරෝධී සිදුවීම් සැලකිල්ලට ගනිමින් රග්බි ආයතනය මෙම පියවර ගෙන ඇති බවයි එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ඒ අනුව, මහනුවර ක්රීඩා සමාජය විසින් ඉදිරිපත් කරනු ලබන සවිස්තරාත්මක ආරක්ෂක සැලසුමක් තරග කමිටුව විසින් සමාලෝචනය කර නිල වශයෙන් පිළිගැනීමෙන් පසුව පමණක්, නිත්තවෙල ක්රීඩාංගණයේ තරග පැවැත්වීමට අවසර හිමි අතර, තරග නිලධාරීන්, සංචාරක කණ්ඩායම් සහ සියලුම සහභාගිවන්නන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විධිමත් ක්රියාවලියක් එම සැලසුමට ඇතුළත් විය යුතු බවයි එම නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ.

