ඩිජිටල් මූල්‍ය සේවා සපයන Remitly ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුව, පවුල් වශයෙන් පදිංචිය සඳහා ලොව වඩාත්ම සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාව 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.
රටවල් 82ක් ආවරණය වන පරිදි සිදුකර ඇති මෙම පර්යේෂණය, අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය, දරුවන් රැකබලා ගැනීමේ පිරිවැය (childcare costs), රාජ්‍ය ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව සහ දෙමාපියන් සඳහා ලබාදෙන නිවාඩු ප්‍රතිපත්ති ඇතුළු සාධක 34ක් පදනම් කරගෙනයි සකස් කර ඇත්තේ.
පසුගිය 2025 වසරේදී, Conde’ Nast Traveler සඟරාව විසින් ශ්‍රී ලංකාව ලොව පවුල් සඳහා වඩාත්ම හිතකාමී රට ලෙස නම් කර තිබුණේ Remitly ආයතනය විසින් වාර්ෂිකව සිදුකරන ගෝලීය සංක්‍රමණ දර්ශකයට (Immigration Index) අනුවයි.
2025 වර්ෂයේ එම දර්ශකයේ අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබූ අතර, 2026 වසරේදී ශ්‍රී ලංකාව 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.
මෙම වසරේ සමස්ත දර්ශකයේ පළමු ස්ථාන තුන පිළිවෙළින් ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දිනාගෙන ඇති අතර, ස්පාඤ්ඤය ඉහළම ස්ථානයට පත්ව ඇත්තේ දරුවන් රැකබලා ගැනීමේ දැරිය හැකි පිරිවැය සහ දෙමාපියන් සඳහා ලබාදෙන පුළුල් නිවාඩු වරප්‍රසාද නිසා බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
එමෙන්ම, චීනය අධ්‍යාපන යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර පාසල් ජාලය පුළුල් කිරීම හේතුවෙන් දෙවන ස්ථානයට පත්ව ඇති අතර, ඇමරිකාව ජාත්‍යන්තර පාසල් තෝරා ගැනීමේ ඇති විවිධත්වය නිසා තෙවන ස්ථානය දිනාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව තවමත් පවුල් හිතකාමී රටක් ලෙස ඉහළින්ම රැඳී සිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දරුවන් රැකබලා ගැනීමේ අඩු පිරිවැයයි.
මෙහිදී රටවල් 82ක් ඇගයීමට ලක්වූ මෙම දර්ශකය පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ගෝලීය ප්‍රතිඵල Remitly නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි.

