පැලවත්තේ ඩෝබි බලකාය සමාජ මාධ්‍ය හරහා සිදුකරන අසත්‍ය ප්‍රචාරයන් සහ මඩ ගැසීම්වලට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකරන බවත් මේ සම්බන්ධයෙන් ළඟදීම පොලිස් මූලස්ථානයට ගොස් විමසීමට කටයුතු කරන බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය කණ්ඩායම් හෙවත් පැලවත්තේ ඩෝබි බලකාය දිගින් දිගටම අසත්‍ය ප්‍රචාරයන් සිදුකරමින් අනෙකුත් පාර්ශ්වවලට එරෙහිව එල්ල කරන මඩ ප්‍රහාර සම්බන්ධයෙන් කෙතරම් පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර නොමැති බවයි.
පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ තීන්ත ආලේප කොට නවීකරණය කිරීමෙන් පසු එහි ටැප් ගැලවූ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ සර්වජන බලය පක්ෂයේ සංවිධායකවරුන් දෙදෙනෙකුට අසත්‍යය චෝදනා එල්ල කරමින් මඩ ගැසීම් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් එම සංවිධායකවරුන් විසින් පැමිණිලි දෙකක්ම ඉදිරිපත් කර ඇති අතර එම අසත්‍ය ප්‍රචාරයන් ගෙනගිය පැලවත්තේ ඩෝබි බලකායට එරෙහිව තවම පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක නොකිරීම බරපතල කාරණයක් බවද සුගීශ්වර බණ්ඩාර විසින් පෙන්වා දෙනු ලබනවා.
මින් පෙර කිසිදු ආකාරයකට සිදු නොවූ ආකාරයෙන් පොලිසිය මේ වනවිට දේශපාලනීකරණය වී ඇති බවත් පොලීසිය පාලනය කරන්නේද පැලවත්තෙන් ද කියා බරපතළ ගැටලුවක් මතුවී ඇති බවත් ඔහු පවසනවා.
කන්ටේනර් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම, මහා පරිමාණ ගල් අඟුරු වංචාව,දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලබාදී තිබියදීත් රජය කඩිනමින් ක්‍රියාත්මක නොවීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් පොලිසියට සිදුකර තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් මේ වනතුරු නිසි පරීක්ෂණ සිදුකර නොමැති බවත් මේ අනුව පොලිසිය ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ඉතා පැහැදිලි වන බවත් සුගීශ්වර බණ්ඩාර සඳහන් කරනවා.
මේ ගැන විමසීමට තමන් ඇතුළු නව ජනතා පෙරමුණේ සාමාජිකයින් පිරිසක් ඉදිරියේදී පොලිස් මූලස්ථානයට යන බවත් එහිදී පැහැදිලි පිළිතුරක් ලැබෙන තුරු පොලිස් මූලස්ථානය අසල රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් සුගීශ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

