ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාස තුනකට අධික කාලයකට පසු තංගල්ලෙන් සමුගෙන යළි කොළඹ ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා.
මේ වන විට නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක පදිංචි වී සිටින බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා තහවුරු කරනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ, ඔවුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු ඇතැම් වරප්‍රසාද අහෝසි විය.
ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 11 වැනිදා කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවසින් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉවත් වුණා.
නිල නිවසින් ඉවත් වූ හිටපු ජනාධිපතිවරයා පසුගිය මාස තුනකට වැඩි කාලයක් තංගල්ලේ “කාල්ටන්” නිවසේ රැඳී සිටියේය.
කෙසේ වෙතත්, දැනට සතියකට පමණ පෙර සිට ඔහු යළිත් කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා යළි කොළඹ ප්‍රදේශයේ පදිංචියට පැමිණීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇති බව නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළා.
පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පහසු කර ගැනීම හා අවශ්‍ය වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ කටයුතු සඳහා කොළඹ ආසන්නයේ සිටීම වඩාත් යෝග්‍ය වීම ඒ අතර වනවා.
මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා සිය දේශපාලන සගයන් සහ හිතවතුන් නුගේගොඩ නිවසේ සිට මුණගැසෙමින් සිටින බවද වාර්තා වේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

