පසුගිය ජූලි මාසයේදී අත්සන් කරන ලද අමෙරිකානු-යුරෝපා වෙළෙඳ ගිවිසුමට ලබාදීමට නියමිතව තිබූ අනුමැතිය අත්හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දරන උත්සාහය සහ ඒ සම්බන්ධයෙන් පනවන ලද නව බදු තර්ජන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට සඳහන්.
මෙම නවතම රාජ්‍යතාන්ත්‍රික ගැටුම හේතුවෙන් ලෝක මූල්‍ය වෙළෙඳපොළ දැඩි කැළඹීමකට පත්ව තිබෙනවා.
අමෙරිකාව සහ යුරෝපය අතර යළිත් වරක් “වෙළෙඳ යුද්ධයක්” ආරම්භ වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා.
අත්ලාන්තික් කලාපයේ දෙපසම කොටස් වෙළෙඳපොළවල් පහත වැටී තිබෙනවා.
අමෙරිකාවේ ‘ඩව් ජෝන්ස්’ (Dow Jones) දර්ශකය 1.7% කින් ද, ‘S&P 500’ දර්ශකය 2% කින් ද පහත වැටුණි.
ජපානයේ නිකේයි (Nikkei) සහ දකුණු කොරියානු වෙළෙඳපොළවල් ද අද උදෑසන පසුබෑමක් පෙන්නුම් කර තිබෙනවා.
ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ ආයෝජකයින් රන් සහ රිදී වැනි සුරක්ෂිත වත්කම් වෙත යොමුවීම නිසා ඒවායේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.
රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගිය අතර, රිදී මිල ද අවුන්සයකට ඩොලර් 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

