ශ්‍රී ලංකා රග්බි ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් 2025/26 තරගාවලිය අද (14 වැනිදා) සිට ඇරැඹෙන අතර තරගාවලියේ පළමු තරගය ලෙස හැව්ලොක්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය අද සවස 4ට හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය තරගාවලියේ මෙන්ම මෙවරද කණ්ඩායම් 9ක් තරගාවලිය සඳහා තරග කරන අතර මූලික වටයේ තරග 36ක් සති 9ක් පුරා පැවැත්වීමට නියමිතය. සෑම සතියකම තරග 4 බැගින් පැවැත්වෙන අතරම සෑම සතියකම එක් කණ්ඩායමකට විවේකී සතියක් යෙදෙනු ඇත. තරගාවලියේ අනුග්රාහකයන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (12 වැනිදා) කොළඹදී පැවැත්විණි. මෙවර තරගාවලි අනුග්‍රාහකයා ලෙස මැලිබන් ආයතනය කටයුතු කරන අතර විදුලි සංදේශ අනුග්‍රාහක ලෙස ඩයලොග් ආසිආටා ආයතනය කටයුතු කරනු ලබයි.
මෙම සතියේ දෙවැනි තරගය ලෙස අද සී.එච්. ඇන්ඩ් එෆ්.සී. සහ පොලිස් කණ්ඩායම් කොළඹ තුරඟ තරග පිටියේදී තරග වදිනු ඇත. අනතුරුව හෙට (15 වැනිදා) ගුවන් හමුදා සහ යුද හමුදා කණ්ඩායම් රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීත්, ශ්‍රී ලයන්ස් සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදීත් තරග කිරීමට නියමිතය. පසුගිය ලීග් තරගාවලියේ කුසලාන ශූරයන් වන මහනුවර කණ්ඩායමට පළමු සතිය විවේකී සතියක් වේ.
එළැඹෙන වසරේ ජනවාරි 18 වැනිදා දක්වා පැවැත්වෙන මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු ස්ථාන 4 හිමිකර ගන්නා කණ්ඩායම් කුසලාන ශූරතාව සඳහා සුදුසුකම් ලබන අතර ඊළඟ කණ්ඩායම් 4 පළඟ ශූරතාව සඳහා සුදුසුකම් ලබනු ඇත. කෙසේ වෙතත් මෙවර 9 වැනි ස්ථානය සඳහා පත්වන කණ්ඩායමට පළඟ ශූරතාවට තරග කිරීමට අවස්ථාව හිමි නොවේ. එමෙන්ම මෙවර ප්‍රසාද ලකුණු අනුව කුසලාන සහ පළඟ ශූරතා ජයග්‍රාහයකයන් තීරණය කිරීම සිදු නොවන අතර ඒ සඳහා අවසන් මහා තරග යුගලයක් පැවැත්වීම විශේෂත්වයකි. මෙවර තරගාවලිය සඳහා කණ්ඩායමකට එක් විදෙස් ක්‍රීඩකයා බැගින් ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය අවසර ලබා දී තිබීම ද සුවිශේෂී කරුණකි.

