2026 වර්ෂයේ පළමු මාස හය තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව මෙම තීරණය ගෙන ඇත.
2024 ජූලි 15 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ ජල ගාස්තු සූත්‍රයට අනුව, ප්‍රධාන පිරිවැය සාධකවල වෙනස්වීම් සැලකිල්ලට ගනිමින් ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුය.
කෙසේ වෙතත්, 2025 වර්ෂයට අදාළව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශයන් පදනම් කරගෙන සිදු කළ විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත්තේ වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවයි.
ඒ අනුව, 2026 වර්ෂයේ පළමු මාස හය තුළ ජල ගාස්තු ඉහළ නැංවීමකින් තොරව පවත්වාගෙන යාමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.


