විජිත හේරත්, බිමල් රත්නායක, නලින් ද ජයතිස්ස කැබිනට් අමාත්‍යවරුන් එකට එකතු වෙලා ආණ්ඩුවට එල්ල වී තිබෙන ගල් අඟුරු වංචාවේ චෝදනාව සෝදා හැරීමට දැඩි උත්සහයක් ගත්තත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් සිදු නොවන බවත් මෙම අමාත්‍යවරුන් තිදෙනා එකට එකතු වී මාධ්‍ය හමුවක් පැවැත්වීම තුළින් පෙන්නුම් කරන්නේ වර්තමාන මාලිමා ආණ්ඩුවේ ප්‍රබල කඩා වැටීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ ප්‍රකාශ කරනවා.
මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මෙම අමාත්‍යවරුන් තිදෙනාම එකතු වී හදිසියේ මාධ්‍ය හමුවක් පැවැත්වීම තුළින්ම ආණ්ඩුවේ බරපතල කඩා වැටීම මැනවින් පෙන්නුම් කෙරුණු බවයි.
අමාත්‍යවරුන් තිදෙනා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුවලින් ඒ බව ඉතාම හොඳින් පැහැදිලි වූ බවත් සුජීව සේනසිංහ විසින් පෙන්වා දෙනු ලැබුවා.
ආණ්ඩුව ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින නිසා මින් ඉදිරියට ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරියත් මාධ්‍ය හමු පැවැත්වුවොත් ඊට ද පුදුම විය යුතු දෙයක් නැති බවද ඔහු සඳහන් කරනවා.
ගල් අඟුරු වංචාව හේතුවෙන් රටට සිදුවන හානිය මුල සිටම විපක්ෂය විසින් පෙන්වා දුන්නද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කරමින් ආණ්ඩුව ඉතාමත්ම උද්දච්ච ආකාරයෙන් හැසුරුණු බවත් ගල් අඟුරු සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රකාශ කළ බවත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගත් අවස්ථාවේ දී ආණ්ඩුවේ සියළුම දෙනාම එම වංචාව වසා දැමීම සඳහා ඒ වෙනුවෙන් කතා කළ බව හැන්සාඩ් වාර්තාවද සාක්ෂි දරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
නියඟයත් සමඟ ඉදිරියේදී තවත් ජල අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන බවත් ඒ අවස්ථාවේදී විදුලි කප්පාදුවක් බොහෝ විට සිදුවීමට ඉඩ ඇති බවත් බාල ගල් අඟුරු ආනයනය නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නයත් සමගම මෙම විදුලි සහ ජල අර්බුද තවත් උග්‍රවීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉතා කෙටි කාලයක් තුළදී කෝටිපතියන් වී තිබෙන නිසා මෙම ගල් අඟුරු වංචාවේ පාඩුව ඔවුන්ගෙන් අය කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලේ ද රුපියල් කෝටි ගණනක් තිබෙන නිසා එම අරමුදලින්ද කොටසක් හෝ ලබාගෙන මෙම ගල් අඟුරු වංචාවේ පාඩුව පියවීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළ යුතු බවද සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

