ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගහර් ස්ටෝරේ සමඟ ඔස්ලෝ නුවරදී විශේෂ ද්විපාර්ශ්වික සහ නියෝජිත මට්ටමේ සාකච්ඡා පවත්වා තිබෙනවා.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යුරෝපා සංචාරයට සමගාමීව සිදු කෙරෙන නෝර්වේ සංචාරයේදීයි.
එහිදී පිරිසිදු බලශක්තිය, නිල් ආර්ථිකය (blue economy) සහ තිරසාර සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා “හරිත උපායමාර්ගික හවුල්කාරිත්වයක්” (Green Strategic Partnership) දක්වා ඉහළ නැංවීමට නායකයෝ එකඟ වුණා.
මෙම සාකච්ඡා පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මෝදිගේ පළමු නෝර්වේ සංචාරය අතරතුරදී වන අතර, මෙය දශක හතරකට වැඩි කාලයකට පසු ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයෙකු නොර්ඩික් රට වෙත කළ පළමු අග්‍රාමාත්‍ය සංචාරය ද වනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, නායකයින් දෙපළ ඉන්දු-නෝර්වේ සබඳතාවල සමස්ත ප්‍රගතිය සමාලෝචනය කළ අතර වෙළෙඳාම සහ ආයෝජන, පුනර්ජනනීය බලශක්තිය, චක්‍රීය ආර්ථිකය, අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය, කෘතිම බුද්ධිය (AI), අභ්‍යවකාශය සහ ආක්ටික් කලාපය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වුණා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ, සබඳතා හරිත උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමේ තීරණය හරිත සංක්‍රාන්ති මුලපිරීම් (green transition initiatives) සඳහා වන සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවයි.
ඉන්දියා-යුරෝපීය නිදහස් වෙළෙඳ සංගමය (EFTA) අතර ඇති කරගත් වෙළෙඳ සහ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම හරහා, විශේෂයෙන්ම වෙළෙඳ පුළුල් කිරීම, තාක්ෂණික සහයෝගීතාව සහ රැකියා උත්පාදනය සම්බන්ධයෙන් මතු වන නව අවස්ථා පිළිබඳව ද නායකයින් සාකච්ඡා කළා.
කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගත් අතර, එහිදී ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව ගෙන යන සටනට නෝර්වේ අග්‍රාමාත්‍ය ස්ටෝරේ සිය සහයෝගය පළ කර තිබෙනවා.
මේ අතර බහුපාර්ශ්වික සංසදයන්හිදී (multilateral forums) දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට ද මෙහිදී එකඟතාව පළ වුණා.


