ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයකු සහ ආණ්ඩුකාරවරයකු ද වන මුහම්මද් හිස්බුල්ලාට අමෙරිකානු ඩොලර් මිලියන 02 ක මුදලක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 60කට අධික) වංචා කළ බවට චෝදනා ලැබූ ඝානාවේ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නියම කර තිබෙනවා.
මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ කිරීමට කුමන්ත්‍රණය කිරීම, බොරු පොරොන්දු දී වංචා කිරීම සහ වංචා කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ නඩු පවරා ඇති බවයි ඝානා පුවත් ඒජන්සිය වාර්තා කළේ.
සැකකරුවන් එක් අයෙකුට ඝානා සේඩි ලක්ෂ 05 බැගින් වූ ඇප මුදල් නියම කර ඇති අතර, ශරීර ඇප 02 ඉදිරිපත් කළ යුතුව තිබුණා.
ඉන් එක් අයෙකු ඉඩමක් සහිත දේපළකින් යුතු වූ අතර එහි මුල් ඔප්පුව උසාවි රෙජිස්ට්‍රාර් වෙත ඉදිරිපත් කළ යුතුයි.
ඇප ලැබූ සැකකරුවන් එකොළොස් දෙනා වන්නේ අබ්දුල් රවුෆ් ඇඩම්, අල්මාමූඩි සලේ, යෝ අට්ටා ඇන්ට්වි, ඔස්මාන් සුලේමාන්, න්යිරාබා ද්වාමේනා, බෙන්ස්කාර්ල් ද්වාමේනා, සාන්ෆෝ මුබසීර්, සල්ලා මාමූඩි, අහමඩ් ඉෂාහ්, උමරු පාෆඩෙනම් සහ සලීෆු සුලේමාන් යන අයයි.
ජාතික ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණිලිකරුවන් ලෙස කටයුතු කළ බව පොලිස් ප්‍රධාන පරීක්ෂක ජේකොබ් කූබල් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවා.
සැකකරුවන් රන් විකිණීමේ මුවාවෙන් පුද්ගලයන් වංචා කරන ජාවාරම් ජාලයක කොටසක් බවත් ඔහු අධිකරණයට දන්වා තිබෙනවා.
පරීක්ෂණවලින් හෙළි වූයේ, 2023 වසරේදී, සලේ සහ ඔහුගේ සගයන් විසින් රත්රන් සැපයීමේ මුවාවෙන් ශ්‍රී ලංකා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මුහම්මද් හිස්බුල්ලාගෙන් ඩොලර් මිලියන 2 ක් වංචා කර ඇති බවයි.
මුදල් ලැබීමෙන් පසු ඔවුන් රත්රන් ලබා දීමට අපොහොසත් වූ අතර හිටපු මන්ත්‍රීවරයා සමඟ සියලු සම්බන්ධතා නවතා දමා තිබූ බව ද අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
පසුව, සැකකරුවන් හිස්බුල්ලා සමඟ නැවත සම්බන්ධතා ඇති කර ගෙන ඇති අතර, රත්රන් කිලෝග්‍රෑම් 50 ක් විකිණීමට ඉදිරිපත් වී, එම ගනුදෙනුවට නීත්‍යානුකූල බවක් ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.
නිල පැමිණිල්ලක් ලැබීමෙන් පසු, ඝානා ජාතික ආරක්ෂක කණ්ඩායමක් විසින් 2025 ඔක්තෝබර් 16 වන දින වෙයිජා එස්.සී.සී හිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගැනීමේදී රත්රන් යැයි සැක කරන කහ පැහැති ලෝහ දෙකක් සොයා ගත් බවත්, ඒවායේ සත්‍යතාව තීරණය කිරීම සඳහා පරීක්ෂණ සිදු කරන බවත් ප්‍රධාන පරීක්ෂකවරයා අනාවරණය කර තිබෙනවා.
චෝදනා අධිකරණයේදී කියවා ඇතත්, වැඩිදුර පරීක්ෂණ සිදුවන බැවින් ඔවුන්ගෙන් වරද පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් ලබා ගෙන නොමැති බව සඳහන්.
මෙම සැකකරුවන් නැවත 2025 නොවැම්බර් 20 වන දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.


