HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු මෙහෙයුම් ,නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) වෙත මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද (30) පස්වරුවේ සිට HSBC බැංකු සේවා අත්හිටුවීමට නියමිත බව එම බැංකුව නිවේදනය කරනවා.

නමුත් HSBC ආයතනික සේවා දිගටම පවත්වා ගෙන යන බවයි එන බැංකුව පවසන්නේ.

Nations Trust Bank PLC (NTB) විසින් Hongkong and Shanghai Banking Corporation (HSBC) ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු ව්‍යාපාරය (retail banking business) රුපියල් බිලියන 18ක මුදලකට සහ අදාළ බදු ගෙවීම් මත මිලදී ගැනීමට එකඟතාවයකට එළඹ ඇති බව Nations Trust Bank මගින් පසුගියදා කොටස් වෙළඳපොළට දැනුම් දුන්නා.

මෙම ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර බැඳීම් සහිත මිලදී ගැනීමේ සහ විකිණීමේ ගිවිසුමක් (binding Sale and Purchase Agreement) අත්සන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා HSBC බැංකුව නිකුත් කර ඇති විශේෂ උපදෙස් මාලාව මෙසේයි.

අද පස්වරු 3:00 ට HSBC බැංකු ශාඛා, විදේශ විනිමය මධ්‍යස්ථාන සහ ATM යන්ත්‍ර සේවා සාමාන්‍ය පරිදි වසා තැබෙනු ඇත.

පවතින HSBC ගිණුම්, හර (Debit) සහ ණය (Credit) කාඩ්පත් මෙන්ම අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා අද රාත්‍රී 7:00 දක්වා පමණක් භාවිතා කළ හැකිය. රාත්‍රී 7:00 න් පසු මෙම සියලු කාඩ්පත් සහ ඩිජිටල් වේදිකාවල ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් නතර වේ.

පද්ධති මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද රාත්‍රී 7:00 සිට සේවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වනු ඇත. මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට කිසිදු ගිණුමකට ප්‍රවේශ වීමට, ATM භාවිත කිරීමට, ණය කාඩ්පත් භාවිත කිරීමට හෝ මාර්ගගත බැංකු පහසුකම් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සේවා යථා තත්ත්වයට පත්වීමෙන් පසු සියලු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) යටතේ ක්‍රියාත්මක වන අතර, NTB සේවා ආරම්භ වන නිශ්චිත වේලාවන් පාරිභෝගිකයින්ට දැනුම් දී ඇත.

බැංකු සේවා අක්‍රිය වන මෙම කාලසීමාව තුළ තමන්ට අවශ්‍ය මුදල් අවශ්‍යතා සහ ගෙවීම් කටයුතු කල්තියා සැලසුම් කර ගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වැඩිදුරටත් මතක් කර සිටියි.

Share.
Leave A Reply

Exit mobile version