විශේෂ මහාධිකරණ ස්ථාපිත කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ සිදු කර තිබෙනවා .
දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවරී ඇති කාර්ය භාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ B 12, ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක් වී තිබෙන බව සඳහන් වෙනවා .
කොළඹ අලුත්කඩේ අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් අද ( 12) සහභාගි වී තිබෙනවා .
අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කෘත්‍යයන් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ අවසන් කර ඇති පරිශ්‍රයේ පවත්වා ගෙන යනු ලබනවා.
මේ වන විට උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ අවසන් කර ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු එම ස්ථානයටම ගෙන ගොස් ඇති බැවින් නඩු කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රය තුළ නව මහාධිකරණ පහක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ .
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයේ උසස් නිලධාරීන් අවස්ථාවට එක්ව තිබෙනවා .

