මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු මාස 11 කට පසු මන්නාරම පොලිසිය විසින් පෙරේදා (28 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු වන අතර අනෙක් සැකකරු 22 හැවිරිදි අයෙකි.
පසුගිය ජනවාරි 16 වැනිදා උදෑසන මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපස සිදු වු වෙඩි තැබීමකින් මන්නාරම, උයිලන්කුලම, නොච්චිකුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි සවේරියන් අරුල් නමැති පුද්ගලයකු හා 42 හැවිරිදි සෙල්වකුමාර් ජූඩ් නමැති පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් හා පුද්ගලයකු තුවාල ලැබීය.
මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීමකට සැකපිට අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තබා තිබුණි.
මේ අතර කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම ආරක්ෂක අංශ සඳහන් කළේය.
2022 ජුලි 08 වැනිදා උයිලන්කුලම, නොච්චිකුලම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර වු ගැටුමක් හේතුවෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කොට තිබුණි.
ඊට පළිගැනීමක් වශයෙන් 2023 අගෝස්තු 23 වැනිදා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කොට තිබු බවද මන්නාරම ආරක්ෂක අංශ සඳහන් කළහ.
සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

