ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම සහ වඩාත්ම ආන්දෝලනාත්මක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වාර්තා විය. ඒ රුපියල් කෝටි එකසිය දහයකට අධික දැවැන්ත වටිනාකමකින් යුක්ත වූ ‘කුෂ්’ සහ ‘හෑෂ්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ තරුණ චීවරධාරීන් විසිදෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි.

බුද්ධ චීවරයට මුවා වෙමින් සමාජයේ භික්ෂූන් වහන්සේලා කෙරෙහි පවතින අසීමිත ගෞරවය සහ පිළිගැනීම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ඉතා සූක්ෂම අන්දමින් සහ සංවිධානාත්මකව යොදාගැනීමේ කනගාටුදායක තත්ත්වයක් මෙම සිදුවීම හරහා මනාව ප්‍රදර්ශනය වී තිබේ. කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන මෙම තොගය සමඟ මෙතරම් විශාල චීවරධාරීන් පිරිසක් නීතියේ රැහැනට කොටුවුණු ප්‍රථම අවස්ථාව ද මෙය ලෙස ඉතිහාසගත වෙයි.

මෙම සංවිධානාත්මක ජාවාරමේ ආරම්භය සනිටුහන් වන්නේ විහාරස්ථානවල වැඩවසන තරුණ චීවරධාරීන් ඉලක්ක කරගනිමින් දියත් කළ සූක්ෂම සැලැස්මකිනි. අත්අඩංගුවට පත් වූ චීවරධාරීන් විසිදෙදෙනාගෙන් විසිඑක් දෙනෙකුම වයස අවුරුදු තිහට අඩු තරුණ භික්ෂූන් වහන්සේලා වන අතර, ඔවුන් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මෙන්ම වෙනත් පෞද්ගලික බෞද්ධ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන පිරිසක් බව විමර්ශනවලදී තහවුරු වී ඇත. මෙම පිරිස අතර සිටින එක් අයෙකු පමණක් වයස අවුරුදු හතළිහක් වන පිරිවෙනක ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන හිමිනමකි. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි දුෂ්කර විහාරස්ථානවල වැඩවසන මෙම තරුණ චීවරධාරීන් එකිනෙකා හඳුනාගෙන ඇත්තේ ද මෙම සංචාරයට එක්වීමෙන් පසුව වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. මෙම පිරිස මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සම්බන්ධ කරගනිමින්, කිසිදු මුදලක් වැය නොකර නොමිලයේ දින තුනක තායිලන්ත විනෝද චාරිකාවක් සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දෙන බව පවසමින් ඔවුන්ව මෙම ජාවාරම සඳහා නම්මාගෙන තිබේ.

මෙම මහා පරිමාණ ජාවාරම මෙහෙයවා ඇත්තේ ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඉපිලිකන්ද භාවනා මධ්‍යස්ථානයේ වැඩවිසූ ප්‍රධාන චීවරධාරියෙකු විසිනි. ඔහු විසින් පිළියන්දල, මඩපාත, ජඹුරලිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩවසන තවත් චීවරධාරීන් තිදෙනෙකුගේ ද සහාය ඇතිව මෙම කටයුත්ත ඉතා රහසිගතව සංවිධානය කර ඇත. මෙම චාරිකාව සඳහා අවශ්‍ය කරන ගුවන් ටිකට්පත්, වීසා බලපත්‍ර, නවාතැන් පහසුකම් මෙන්ම ආහාරපාන ඇතුළු සියලුම වියදම් කිසිදු අඩුවකින් තොරව මෙම ප්‍රධාන ජාවාරම්කාර චීවරධාරියා විසින් සපයා දී ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ සෘජු සබඳතා පවත්වමින් ඔහු විසින් මෙම තරුණ භික්ෂූන් වහන්සේලා විදෙස් සංචාර සඳහා යොදවාගෙන ඇති බවට සැක කෙරේ.

සැලසුම් කළ පරිදි මෙම චීවරධාරීන් පිරිස පසුගිය විසිදෙවැනිදා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත. දින තුනක කාලයක් බැංකොක් නගරයේ ගත කර ඇති මෙම පිරිසගේ හැසිරීම් රටාවන් පිළිබඳව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී විශ්මයජනක තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. තායිලන්තයට ගිය පසුව මෙම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් සිය සිවුරු ඉවත් කර සාමාන්‍ය ගිහි ඇඳුමින් සැරසී විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවට ඡායාරූප සහ වීඩියෝ දර්ශන මගින් තහවුරු වී ඇත. ඇතැම් චීවරධාරීන් රාත්‍රී සමාජශාලා වෙත ගොස් ඇති බවත්, කාන්තාවන් සහ මෙහෙණින් වහන්සේලා සමඟ අසම්මත අන්දමින් හැසිරෙමින් වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇති බවත්, දුම්වැටි සහ මත්පැන් පානය කර ඇති බවත් එම දර්ශන මගින් මනාව පැහැදිලි වී තිබේ. චීවරයට මුවා වී ඔවුන් ගත කර ඇති මෙම අශෝභන ජීවන රටාව විමර්ශන නිලධාරීන්ගේ පවා දැඩි විමතියට හේතු වී ඇත.

බැංකොක් නුවර ගත කළ දින තුන අවසානයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මෙම පිරිසට එරටදී මුණගැසුණු ශ්‍රී ලාංකිකයෙකු විසින් ගමන් මලු විසිදෙකක් ලබා දී තිබේ. මෙම ගමන් මලු සියල්ලම එකම හැඩයකින් යුක්ත වූ විවිධ වර්ණයන්ගෙන් සමන්විත තරමක් විශාල ඒවා විය. එම ශ්‍රී ලාංකිකයා විසින් චීවරධාරීන්ට පවසා ඇත්තේ මෙම ගමන් මලු තුළ ශ්‍රී ලංකාවේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දරු දැරියන් සඳහා ත්‍යාග වශයෙන් ලබාදීමට ගෙන යන පාසල් උපකරණ, ටොෆි, චොකලට්, සබන්, ෂැම්පු, දත් බෙහෙත්, රේසර් ඇතුළු ද්‍රව්‍ය අඩංගු වන බවයි. කෙසේ වෙතත්, මෙම ගමන් මලු කිසිදු හේතුවක් මත විවෘත නොකරන ලෙසටද ඔවුන්ට දැඩි ලෙස උපදෙස් දී තිබේ. තවද, කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට පැමිණි පසු අදාළ ගමන් මලු වාහනයකින් පැමිණෙන පුද්ගලයෙකුට භාර දිය යුතු බවට ජාවාරම මෙහෙයවූ මීගහවත්ත ප්‍රදේශයේ වැඩවිසූ චීවරධාරියා විසින් උපදෙස් ලබා දී ඇති බවද අනාවරණය වී ඇත.

තායිලන්තය විසින් ගංජා ආශ්‍රිත නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ බැංකොක් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැඩි අවධානයකින් පසුවිය. මේ අතරතුර, බැංකොක් නුවර සිට මෙරටට පැමිණෙන ගුවන් යානයක සිටින හිමිවරුන් කණ්ඩායමක් සතුව ඇති ගමන් මලුවල මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට කල්වේලා ඇතිවම නිශ්චිත රහසිගත තොරතුරක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයට ලැබී තිබිණි. ඒ අනුව, පසුගිය විසිපස්වැනිදා රාත්‍රී දහයයි දහයට පමණ බැංකොක් නුවර සිට තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී. 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මෙම චීවරධාරීන් විසිදෙදෙනා පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් දැඩි විමසිල්ලෙන් පසුවිය. ඔවුන් සතුව තිබූ එකම වර්ගයේ ගමන් මලු සම්බන්ධයෙන් සැක සිතූ නිලධාරීන් වහාම එම පිරිස විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගත්හ.

එහිදී සිදුකළ දැඩි පරීක්ෂාවේදී පිටතින් පාසල් උපකරණ සහ රසකැවිලි අසුරා තිබූ එම ගමන් මලුවල පතුලේ ඉතා සූක්ෂම ලෙස සකස් කරන ලද ව්‍යාජ කුටීර බැගින් ඇති බව නිලධාරීන්ට නිරීක්ෂණය විය. එම ව්‍යාජ කුටීර විවෘත කර බැලීමේදී ඒ තුළ සඟවා තිබූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය එකක් සහ ‘හෑෂ්’ හෙවත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහයකට අධික ප්‍රමාණයක් සොයාගැනීමට හැකි විය. සමස්තයක් ලෙස කිලෝග්‍රෑම් එකසිය දොළහකට අධික වූ මෙම මත්ද්‍රව්‍ය තොගය එක් චීවරධාරියෙකුගේ ගමන් මල්ලක කිලෝග්‍රෑම් පහකට වැඩි බරකින් යුක්ත වන පරිදි ඉතා ක්‍රමානුකූලව අසුරා තිබී ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ චීවරධාරීන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මෙම ගමන් මලු පිළිබඳව යම් සැකයක් මතු වුවද ඒ පිළිබඳව වැඩිදුර තැකීමක් නොකළ බවත්, ඒ තුළ මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බව තමන් කිසිසේත්ම නොදැන සිටි බවත්ය.

මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන මොළකරු ලෙස කටයුතු කළ ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ භාවනා මධ්‍යස්ථානයක වැඩවිසූ චීවරධාරියා, කටුනායකදී සෙසු පිරිස අත්අඩංගුවට පත්ව ඇති බව සැලවීමත් සමඟම පළාගොස් සැඟවී සිටීමට උත්සාහ කර තිබේ. එහෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විසිහයවැනිදා දහවල් කාලයේදී මීගහවත්ත ප්‍රදේශයේදීම ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් ජාවාරම්කරුවන් සහ අනුග්‍රාහකයන් හඳුනාගැනීම සඳහා මේ වන විටත් පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත. මෙම චාරිකාවට සම්බන්ධ වූ මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන චීවරධාරීන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම තායිලන්තයට ගොස් ඇති බවද, පසුගිය මාසයේදී තවත් භික්ෂූන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ ආකාරයෙන්ම තායිලන්තයට යවා නැවත ගෙන්වාගෙන ඇති බවද, එළඹෙන මැයි මාසයේදී තවත් පිරිසක් යැවීමට සැලසුම් කර තිබූ බවද විමර්ශන මගින් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. චීවරයට මුවා වී කිසිදු පරීක්ෂාවකින් තොරව ගුවන්තොටුපොළෙන් පිටව යාමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගනිමින් අතීතයේදී ද මොවුන් මෙලෙස මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එන්නට ඇති බවට පොලිසිය දැඩි ලෙස සැක පළ කරයි.

කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් තරුණ චීවරධාරීන් විසිදෙදෙනා සහ ජාවාරම මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා ඇතුළු සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් ඔවුන්ව ලබන මැයි මස දෙවැනිදා දක්වා දින හතක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ. සැකකාර චීවරධාරීන් වෙනුවෙන් නීතිඥ දුලීශා විජේසූරිය, ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ යන මහත්වරුන්ගේ උපදෙස් මත නීතිඥ තරිඳු වික්‍රමනායක, බුද්ධි උදාර, නීතිඥ සචිත් වෙල්ගම සහ නීතිඥ නාමල් වනිගසූරිය යන නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිට ඇත. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි සහ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පුළුල්ව සිදු කරමින් පවතී.

Share.
Leave A Reply

Exit mobile version