රුපියල් 15,000 බැගින් අරන් ඇපයට ඉදිරිපත් වෙලා – හඳුනන්නෙත් නෑල

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන වෙනුවෙන්, රුපියල් මිලියන සියයක ශරීර ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (06) නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙක්.

අධිකරණය විසින් සැකකාර කපිල චන්ද්‍රසේනට නියම කර තිබූ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප තුනක් සඳහා මොවුන් ඉදිරිපත් වී තිබුණා.

කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුවන් කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් හෝ හඳුනාගැනීමක් නොමැතිව, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.

දේවා සහ තිස්ස නමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් මත තමන් මෙම මුදල ලබාගත් බව සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ බව අධිකරණයේදී හෙළි වුණා.

මෙය 1997 අංක 30 දරන ඇප පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළා.

Share.
Leave A Reply

Exit mobile version