කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි වැදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යැයි සැලකෙන හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(4) නියෝග කළා.
සිද්ධියට අදාල වැඩිදුර වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කලා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවයි.
එහිදී අනාවරණය වූ කරුණු අනුව මෙම සැකකරු පාතාල කල්ලි නායකයන් බොහෝ දෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඔහු පදිංචි නිවසේ තිබි යුධ හමුදා ඇඳුම් කට්ටල , පැළඳුම් සහ ජීව පතොරම් අටක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
මෙම සැකකරු 2023 මැයි 2 සිට සේවයට වාර්තා නොකර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයකට දැන්වුවා.
කමාන්ඩෝ සලින්ත මාර්ගයෙන් ගනේමුල්ල සංජීවීව හමුවී තිබෙන බවත් මීගමුව ඇතුලු ප්‍රදේශවල වෙඩි තබා සිදු කරන ලද ඝාතන කිහිපයකටද මෙම සැකකරු සම්බන්ධ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජීව උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අදාල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වර්තා කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා තිබේද යන්න වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

