බලශක්ති විෂය භාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස්වීම, මෙම බිලියන ගණනක වංචාව ජන මනසින් යටපත් කිරීමට රජය විසින් රඟ දක්වන තවත් “නාට්‍ය ජවනිකාවක්” බව සමගි ජන බලවේගය පවසනවා.
ඒ අනුව, මෙරට විදුලි බල උත්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ආනයනය කිරීම හරහා සිදුව ඇති බව කියන දැවැන්ත මූල්‍ය වංචාව යටපත් කිරීමට රජය දරන උත්සාහය පරාජය කිරීමට එක්වන ලෙසයි සමගි ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ, ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ අතිශය දූෂිත ගනුදෙනුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගය අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන් බවයි.
ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු දහනය නිසා සිදුවන මූල්‍යමය පාඩුව පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්තාවෙන් සහ විගණකාධිපති වාර්තාවෙන් කරුණු අනාවරණය වී ඇති බවත්, මෑතකදී නිකුත් වූ හඬපටය හරහා මෙම වංචාවේ සැබෑ තත්ත්වය තහවුරු වී ඇති අතර, ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පවා එම හඬපටයේ සත්‍යතාව පිළිගෙන ඇති බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.
එමෙන්ම, මෙම වංචාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළද, ඊට මෙතෙක් නිසි පියවරක් ගෙන නොමැති අතර, පසුගිය සිකුරාදා (10) පාර්ලිමේන්තුවේදී විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ආරක්ෂා කරමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 153 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම ජනතා විශ්වාසය බිඳ දැමීමක් බවටත් සමගි ජන බලවේගය චෝදනා කරනවා.
මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා මෙන්ම, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා සහ මුළු කැබිනට් මණ්ඩලයම සාමූහිකව වගකිව යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

