ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) තම සමාජ මෙහෙවර අරමුණු කරගත්  ආයතනය වන ජනශක්ති පදනම හරහා, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළේය. ජාතික අරමුදලක් සහ පෞද්ගලික සමාගමක් අතර මෙබඳු සහයෝගීතාවයක්  ඇතිවීම දුර්ලභ සහ වැදගත් සිදුවීමක් වන අතර, එය රටේ යහපත වෙනුවෙන් JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් නිරූපණය කරන්නකි.

ජනශක්ති පදනම, ජනාධිපති අරමුදල සමඟ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරන ජාතික සත්කාරයක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ තේමාව වන්නේ ‘හෙට දිනනා ලොවකට අද සුවය සදමු’ යන්නයි. එය රටේ දරු පරපුරේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් දරනු ලබන වටිනා සාමූහික ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකි වේ.

JXG හි අරමුණ වන ‘Breaking Barriers, Forging Futures’ යන්න සමඟ මැනැවින් සමපාත වන මෙය, රටේ දරුවන්ට හිමි වන සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින මුල්‍ය බාධා  අවම කරන කාලීන මෙහෙවරකි. මේ යටතේ ජනශක්ති පදනම විසින්, ප්‍රතිලාභී දරුවන් සඳහා ජනාධිපති අරමුදල මඟින් ලබාදෙන මුදලට අමතරව ඔවුන්ට ප්‍රතිකාර සඳහා වැය වන වියදම් පියවීම සිදුකරනු ලබයි.

ජනාධිපති අරමුදල යටතේ සාමාන්‍යයෙන් කිසියම් රෝගියෙකුගේ ප්‍රතිකර්ම සඳහා වැය වන මුදලින් කොටසක් පමණක් පියවනු ලබන අතර, මෙම නව සහයෝගීතාවය යටතේ ජනශක්ති පදනම විසින් ඊට සමාන මුදලක් හෝ ප්‍රතිකර්ම සඳහා වැය වන ඉතිරි මුදල යන දෙකෙන් අඩු වටිනාකම ගෙවනු ලැබේ. මේ යටතේ සාමාන්‍යයෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අදාළ මුදල දරුවන්ගේ භාරකරුවන් වෙත ගෙවනු ලබන අතර, හදිසි ප්‍රතිකාර සහ විදේශයකදී සිදුකරන ප්‍රතිකාර සඳහා එම ප්‍රතිකාරවලට පෙර මුදල් ගෙවනු ඇත. මූල්‍ය සහය අවශ්‍ය දරුවන් වෙනුවෙන් එම සහය නොපමාව ලබාදීම සඳහා අයදුම්පත් මාස්පතා සමාලෝචනය කෙරේ.

“ජනශක්ති යනු කවදත් රටේ යහපත වෙනුවෙන් ඉතසිතින් කැප වී සිටින ව්‍යාපාරයක්.  ජනාධිපති අරමුදල සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ අරමුණ වන ‘Breaking Barriers, Forging Futures’ යන්න යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අර්ථවත් හා ඵලදායී ක්‍රමයක් බව අප විශ්වාස කරනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ දුෂ්කරතාව යනු දරුවන් යහපත් අනාගතයක් කරා යන ගමන වළක්වන සුවිශාල බාධාවක්. මෙම සහයෝගීතාවය හරහා එම බාධාව අවම  කරමින්, සහයක් අත්‍යවශ්‍ය දරුවන්ට එම සහය ලබාදීමට අප උත්සාහ කරනවා. එමඟින් අනාගතට පරපුරට වඩාත් විශ්වාසයෙන් යුතුව හෙට දිනයට මුහුණ දීමට අවශ්‍ය පදනම සකස් කිරීමට අපට හැකි වේවි.” JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ශාෆ්ටර් මහතා පැවසීය.

“ජනශක්ති පදනම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය සුවිශේෂී මෙන්ම, බොහෝ අතින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. රටේ දරුවන්ට ලැබෙන අත්වැල ශක්තිමත් කිරීම සහ ඔවුන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී මතුවන දුෂ්කරතා අවම කිරීම සඳහා ජාතික මට්ටමේ ආයතන සහ පෞද්ගලික අංශය එක්ව එක්ව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙය මනා ආදර්ශයක්.” ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් / ජනාධිපති අරමුදලේ ලේකම් ජී. ජී. එස්. සී. රෝෂන් මහතා පැවසීය.

මෙම වැඩසටහන යටතේ අමතර මූල්‍ය සහයක් අපේක්ෂා කරන අයදුම්කරුවන්, ජනාධිපති අරමුදල සඳහා අයදුම් කිරීමේදී තම තොරතුරු සුරක්ෂිත ලෙස ජනශක්ති පදනම වෙත ලබාදීම සඳහා අවසර ලබාදෙන ආකෘති පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය. 2026 මැයි 15 වන දින සිට ජනාධිපති අරමුදලට ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා ජනශක්ති පදනමෙන් අමතර අරමුදල් ලබා ගැනීමට අයදුම්කරුවන් සුදුසුකම් ලබයි. මූල්‍ය සහය අවශ්‍ය දරුවන් හඳුනාගැනීම, ඔවුන්ගේ තොරතුරු තහවුරු කරගැනීම සහ මුදල් අනුමත කිරීම ඉදිරියටත් ජනාධිපති අරමුදල මඟින් සිදුකරනු ඇත.

සිය අරමුණු තුළින් පන්නරය ලබමින්, ජාතික ප්‍රමුක්තවන්ට අනුකූලව රටට සහ එහි ජනතාවට අර්ථවත් මෙහෙවරක් ඉටුකිරීම සඳහා JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) දිගින් දිගටම කැප වී සිටී.

Share.
Leave A Reply

Exit mobile version