රෝහලේ සුදු කෝට්ටුවෙන් රෝගීන් සුවපත් කරන වෛද්‍යවරියක්, ජාත්‍යන්තර රූ රැජින වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝකයේ අවධානය දිනාගනී නම්, එය බොහෝ දෙනෙකුට සිහිනයක් සේ පෙනෙන කතාවක් විය හැකියි. එහෙත්, එය යථාර්ථයක් බවට පත්කර ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් සහ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් බිහිවූ වෛද්‍යවරියක් වන දේවීනා නවීක්ෂි විසිනි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Aura International 2026 තරගාවලියට එක්වූ ඇය, වෘත්තීය ජීවිතය සහ කලාත්මක සිහින එකවර ජයගන්නට හැකි බව ලෝකයටම පෙන්වා දී තිබේ.
🔴 ලෝකයේ හොඳම ජාතික ඇඳුම් 15 අතරට
මෙම තරගාවලියේ පැවැත්වුණු National Costume හෙවත් ජාතික ඇඳුම් නිරූපණ අංශයෙන් ලෝකයේ රටවල් රැසක් පරද්දලා හොඳම ඇඳුම් 15 අතරට (TOP 15) තේරී පත්වෙන්න දේවීනා සමත් වූවාය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ලෝකය ඉදිරියේ විචිත්‍රවත් ලෙස ප්‍රදර්ශනය කළ ඇගේ ඇඳුම විනිශ්චය මණ්ඩලයේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද දැඩි ඇගයීමට ලක්විය.
🔴 ලෝකයම මවිත කළ ගුරුළු ඇඳුමේ රහස
වේදිකාව උඩුයටිකුරු කරපු මේ අපූරු ජාතික ඇඳුම නිර්මාණය කරලා තිබුණේ අපේ රටේ ඉතිහාසය සහ සංස්කෘතිය එක්ක බැඳිලා තියෙන ‘ගුරුළු ‘ (Gurula) සංකල්පය පදනම් කරගෙනයි එය ශ්‍රී ලාංකීය පාරම්පරික වෙස්මුහුණු කලාව සහ පක්ෂි රූපක ආශ්රයෙන් නිමවා තිබුණි. NL Creations 1 ආයතනය විසින් නිර්මාණය කළ මෙම ඇඳුම වේදිකාව මත දිගහැරුණු මොහොතේ, ශාලාව පුරාම ප්‍රේක්ෂක අවධානය ඒ වෙත යොමුවූ බව විදෙස් මාධ්‍ය ද වාර්තා කළේය.
වෛද්‍ය වෘත්තියේ නිරත වෙන ගමන්ම මේ වගේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් කරා යන්න දේවීනා ගත්ත උත්සාහය ඇත්තටම අගය කරන්න ඕනේ. ලංකාවේ නම ජාත්‍යන්තර තලයට රැගෙන යාම ගැන newsforce.lk අපෙන් ඇයට උණුසුම් සුබපැතුම්.

