නාවලපිටිය, පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ විද්‍යුත් තැපෑලට අද පණිවුඩයක් ලැබී තිබුණි.

එම පණිවුඩය මත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද (29) හදිසි පරික්ෂාවට ලක්කළ බව අප වාර්තාකරු පැවසීය.

නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත මෙම ඊ-මෙල් පණිවිඩය විදේශ රටකින් එවා තිබුණු බවත් එහි සඳහන්ව තිබුණේ, “කූඩාරමක් තුළ බෝම්බයක් ඇත. එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බව” යනුවෙනි.

ඒ හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශිය ලේකම්වරිට විසින් එහි කාර්ය මණ්ඩලය සහ පැමිණ සිටි පිරිස ඉවත් කර තිබුණි.

පසුව ප්‍රාදේශිය ලේකම්වරිට විසින් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.

නාවලපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසයද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරික්ෂා කිරිමෙන් අනතුරුව එහි සැක කටයුතු කිසිවක් නොමැති බවට තහවුරු විය.

සිද්ධිය සැල වූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ මහත්මිය කියා සිටියේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලද විද්‍යාත් තැපැල් පණිඩයක් මත ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රය පරික්ෂාවට ලක් කළ බවය.

මේ අතර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අද (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලද විද්‍යුත් පණිවිඩය ව්‍යාජ එකක් බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි පූජා පිටිය පොලීසිය සඳහන් කරයි.

එනමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (28) විද්‍යුත් ලිපිනය මගින් යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමට ඉඩ ඇති බවත් නිලධාරීන් අද (29) දහවල් 02.00ට පෙර ඉවත් වන ලෙසට දන්වා ඇති බවට සඳහන්ව තිබූ බව වාර්තා වෙයි.

එකී පණිවිඩය පෙරේදා දින ලැබී ඇතිමුත් එදින නිවාඩු බැවින් එහි නිලධාරියෙක් එම විද්‍යුත් පණිවිඩය දැක තිබුනේ අද (29) දින ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත එහි නිලධාරියෙක් අද (29) පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය සියලුම කාර්ය මණ්ඩලය ඉවත්කර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මෙන්ම නිල සුනඛයන් ගෙන්වා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද සැකකටයුතු කිසිවක් හමු නොවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පැය හතරකට ආසන්න කාලයක් එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

Share.
Leave A Reply

Exit mobile version