හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.ලොව පුරා වෙසෙනෙ හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සමරනු ලබයි.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරේ.හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජාකිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද මෙම උත්සවයේ දී සිදුකෙරෙන බව සඳහන්ය.

ශ්‍රී ලාංකේය ජන සමාජය විවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූවකි. ඒ අතරින් ජනවාරි මාසයේ (දෙමළ ‘තෛ’ මාසයේ) උදාවත් සමඟ සමරනු ලබන තෛපොංගල් උත්සවය හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකේ. මෙය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව මිනිසා සහ ස්වභාවධර්මය අතර ඇති නොබිඳෙන සබැඳියාව ලොවට කියාපාන අස්වනු මංගල්‍යයකි.

දෙමළ දින දර්ශනයට අනුව වසරේ දසවන මාසය ‘තෛ’ මාසයයි. ‘තෛ’ පිරන්තල් වළි පිරක්කුම් යනුවෙන් දෙමළ ජන සමාජයේ ප්‍රකට කියමනක් ඇත. එහි අරුත වන්නේ ‘තෛ’ මාසය උදාවීමත් සමඟ අලුත් මාවත් විවර වේ යන්නයි. සූර්යයා මකර රාශියට පිවිසීම පදනම් කරගෙන උදාවන මෙම කාලය සෞභාග්‍යයේ සංකේතය ලෙස ඔවුහු සලකති.

කෘෂිකාර්මික දිවියක් ගෙවන මිනිසාට වගා කටයුතු සාර්ථක කර ගැනීමට හිරුඑළිය අත්‍යවශ්‍ය වේ. එබැවින් තමන්ට සශ්‍රීක අස්වැන්නක් ලබා ගැනීමට ආශිර්වාද කළ සූර්ය දෙවියන්ට ස්තූති කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන පරමාර්ථයයි. නිවස ඉදිරිපිට මිදුලේ සහල්, හකුරු, එළකිරි සහ මුංඇට යොදාගෙන අලුත් මුට්ටියක පිසිනු ලබන ‘පොංගල් බත’ පළමුව සූර්යයාට පූජා කරනු ලබන්නේ එබැවිනි. ‘පොංගල්’ යනු දෙමළ භාෂාවෙන් ‘උතුරා යාම’ හෝ ‘පිටාර ගැලීම’ යන්නයි. කිරි උතුරන විට පවුලේ සැවොම එක්ව ‘පොංගලෝ පොංගල්’ යැයි පවසමින් සතුටු වෙති. ඉන් අදහස් කරන්නේ එළැඹෙන වසර පුරා තම ජීවිත සතුටින් සහ සෞභාග්‍යයෙන් උතුරා යා යුතු බවයි.

තෛපොංගල් උත්සවය දින කිහිපයක් පුරා විවිධ චාරිත්‍රයන්ගෙන් සමන්විත වේ. උත්සවයට පෙර දින නිවෙස් පිරිසිදු කර පරණ දෑ ඉවත් කර අලුත් වසරකට සූදානම් වීම මෙහිදී සිදුවේ. එදින අලුත් ඇඳුමින් සැරසී මිදුලේ ‘කෝලම්’ රටා ඇඳ සූර්යයා උදාවන දිශාව බලා කිරි ඉතිරවීම සිදු කරයි.

උත්සවයේ දෙවැනි දිනය ගවයන් වෙනුවෙන් වෙන් කෙරේ. කෘෂිකර්මාන්තයට උදව් කළ ගවයන් නාවා, අං තට්ටුවල වර්ණ ගල්වා, මල් මාලා පළඳවා ඔවුන්ට විශේෂයෙන් ආහාර ලබාදීම මෙහිදී සිදු කෙරේ. මෙය සතුන් කෙරෙහි දක්වන මානුෂීය ගුණය විදහා දක්වන්නකි. තෛපොංගල් දිනයේදී හින්දු නිවෙස් ඉදිරිපිට සහල් පිටිවලින් අඳිනු ලබන ‘කෝලම්’ රටා සුවිශේෂී වේ. එය නිවසට සෞභාග්‍යය කැඳවන බවත්, කුඩා සතුන්ට (කූඹින් වැනි) ආහාරයක් ලබාදීමේ පුණ්‍යකර්මයක් ලෙසත් සැලකේ. නිවෙස් දොරකඩ තොරණ මෙන් අඹ කොළ සහ උක් ගස්වලින් සරසනු ලබයි.

තෛපොංගල් යනු හුදෙක් බත් පිසින දිනයක් නොව ස්වභාවධර්මයට සතුන්ට සහ මිනිසාට ගරු කරන අතීත ගැමි සංස්කෘතියේ හර පද්ධතීන් වර්තමානයට ගෙන එන මංගල්‍යයකි. ලොව ඕනෑම මනුෂ්‍යයකුගේ පැවැත්ම රඳා පවතින්නේ ස්වභාවධර්මය මතයි. තෛපොංගල් උත්සවයේ මූලික පණිවිඩය වන්නේ අපට ආහාර ලබාදෙන සූර්යයාට, වැස්සට සහ පොළොවට ස්තූති කිරීමයි.

Share.
Leave A Reply

Exit mobile version