නවතම ජන හා නිවාස සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ගෙවුණු වසර 12 තුළ ලක්ෂ 14කින් වැඩි වී තිබෙනවා.

මේ බව අනාවරණ වන්නේ 2024 ජන හා නිවාස සංගණනයේ වාර්තාව අනුවයි.

එමෙන්ම මෙරට තුළ සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවේ සුළු අඩුවීමක් ද දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 දෙසැම්බර් මස 19 වැනිදා ආරම්භ වූ අතර, ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කරමින් මෙම සංගණනය සිදුකිරීම විශේෂත්වයක්.

එහි අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාරදුන්නා.

මෙවර සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800ක් වනවා.

2012 වසරේ අවසන් සංගණනය අනුව මෙරට සමස්ත ජනගහනය දැක්වුණේ 20,359,439ක් ලෙසයි.

ඒ අනුව ගෙවුණු වසර 12 තුළ ශ්‍රී ලංකාවේ ජනගහනය 1,422,361කින් වැඩි වී තිබෙනවා.

ස්ත්‍රී – පුරුෂ ජනගහනය වෙන් වෙන් වශයෙන් සැලකීමේදී වැඩිම ජනගහනය ස්ත්‍රී ජනගහනයයි.

එය මෙරට ජනගහනයෙන් සියයට 51.7ක් එනම් 11,269,456 ක් වනවා.

සියයට 48.3ක් පුරුෂයින් වන අතර එය සංඛ්‍යාත්මකව 10,512,344ක්.

ඒ අනුව මෙරට ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි වී තිබෙනවා.

දිස්ත්‍රික්ක අනුව සැලකීමේදී වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 2,436,142ක්.

දෙවැනි වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය කොළඹ වන අතර එය 2,375,415ක් වනවා.

තෙවැනි වැඩිම ජනගහනය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 1,768,156ක්.

ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 122,619ක්.

පුමිතිරි අනුපාතය හෙවත් සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව රටක වැදගත් ජන විකාශක දර්ශකයක් වනවා.

ඒ අනුව සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93.3ක් බව නව සංගණනයේ දැක්වෙනවා.

2012 සංගණනයේදී එම අගය පැවතියේ 93.8ක් ලෙසයි.

ඒ අනුව එම පිරිමින් සංඛ්‍යාවේ අගය දශම 5කින් අඩු වී තිබෙනවා.

සෑම දිස්ත්‍රික්කයම පුමිතිරි අනුපාතය 100ට වඩු අඩු අගයන් පෙන්වීම විශේෂත්වයක් බව ද සංගණන වාර්තාවේ සඳහන්.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජනගහනය 3,167,263 ක් ලෙස දක්වා තිබෙනවා.

එනම් වෙනත් දිස්ත්‍රික්කයක හෝ රටක සාමාන්‍ය පදිංචියේ සිට දැනට පදිංචි දිස්ත්‍රික්කයට පැමිණ ඇති ජනගහනයයි.

ඒ අනුව වැඩිම සංක්‍රමණික ජනගහනය වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 530,643ක්.

වයස් කාණ්ඩ අනුව සැලකීමේදී මෙරට වැඩිම ජනගහනය අවුරුදු 15ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර එම අගය 13,353,837ක්.

වයස අවුරුදු 65 හා ඊට වැඩි ජනගහනය එනම් වැඩිහිටි ජනගහනය 2,737,814ක් ලෙස දැක්වෙනවා.

මෙරට වයස අවුරුදු 14ට අඩු ළමා ජනගහනය දැක්වෙන්නේ 4,506,839ක් ලෙසයි.

Share.
Leave A Reply

Exit mobile version