මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයේ 17 වැනි සැමරුමට සමගාමීව, රට වෙනුවෙන් දිවිපිදූ සහ ආබාධිතභාවයට පත්වූ රණවිරුවන්ට උපහාර පිරිනැමීමේ විශේෂ වැඩසටහනක් අද අවිස්සාවේල්ල, සාලාව රණවිරු ගම්මානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්වූ අතර, රටේ ඒකීයභාවය සහ ජනතා නිදහස වෙනුවෙන් දිවිපුදා සේවය කළ රණවිරුවන්ගේ කැපවීම අමතක කළ නොහැකි බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙහිදී රට වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝධාර රණවිරුවන් 31 දෙනෙකුගේ පවුල් වෙත උපහාර පිරිනැමූ අතර, යුද්ධයේදී ආබාධිතභාවයට පත්ව වර්තමානයේ ජීවත්වන රණවිරුවන් 76 දෙනෙකුට ද ගෞරව සහ කෘතවේදීත්වය පළ කරමින් විශේෂ උපහාර දැක්වීම සිදුකෙරිණි.

රණවිරුවන්ගේ අභිමානය හා කැපවීම අගය කරමින් පැවැති මෙම වැඩසටහන අවිස්සාවේල්ල ආසන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතාගේ අධීක්ෂණයෙන් සංවිධානය කර තිබූ අතර, සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් මහතා විසින් එය ක්‍රියාත්මක කර තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ රණවිරු පවුල්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, පක්ෂ ක්‍රියාකාරීන් සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටි අතර, රට වෙනුවෙන් කළ අසීමිත කැපකිරීම් සිහිපත් කරමින් රණවිරුවන්ට ගෞරව දැක්වීමේ වටිනාකම ද මෙහිදී විශේෂයෙන් අවධාරණය විය.

නාමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, රටේ නිදහස සහ සාමය වෙනුවෙන් සිය ජීවිත පවා පූජා කළ රණවිරුවන්ගේ සේවය සදා අගය කළ යුතු බවත්, ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සමාජය නිරන්තරයෙන් කැපවිය යුතු බවත්ය.

රණවිරු ගෞරවය සහ ජාතික අභිමානය පෙරටුකරගත් මෙම වැඩසටහන, විජයග්‍රහණ සැමරුම් අතර විශේෂ අවධානයට ලක්වූ අවස්ථාවක් බවට පත්විය.

Share.
Leave A Reply

Exit mobile version