නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ සවිකර තිබූ වටිනා පැරණි අකුණු සන්නායකය මහා දවාලේ කොල්ලකා ඇති බවට නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරනවා.

එම සංවිධානය වෙනුවෙන් අදහස් දැක්වූ ගයාන් විජයබණ්ඩාර සහ නාලක රත්නායක යන අය කියා සිටියේ, මෙම මහා පරිමාණ කොල්ලය සම්බන්ධයෙන් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසි පියවර නොගැනීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට දැඩි සැකයක් පවතින බවයි.

ඒ හේතුවෙන් අකුණු සන්නායකය කොල්ලකෑමේ පරීක්ෂණ යටගහන බවටයි නුවරඑළිය සුරැකීමේ සංවිධානය චෝදනා කරන්නේ.

2007 පෙබරවාරි 23 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යාත්මක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම පෞරාණික ගොඩනැගිල්ලේ මෑතකදී සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.

එහිදී අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය මැදින් කපා දමා, සන්නායකයට හානි සිදු කර එය අස්ථානගත කර ඇති බව තැපැල් ස්ථානාධිපති විසින් නිරීක්ෂණය කර තිබෙනවා.

අකුණු සන්නායකය අස්ථානගත වීම සම්බන්ධයෙන් නුවරඑළිය තැපැල් ස්ථානාධිපති විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබෙනවා.

පුරාවිද්‍යා පනතට අනුව මෙම වින්දිත දේපළ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය පොලිසියට ලිඛිතව දැනුම් දී තිබුණා.

මෙම සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ අදාළ විමර්ශන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වන බවයි.

ඊට අදාලව කටඋත්තර කිහිපයක් සටහන් කරගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිත බවයි සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version