මහාධිකරණයේ විභාගවන නඩුවකට අදාලව දුරකතන විශ්ලේෂණ වාර්තාවක් කැඳවීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ ජංගම දුරකතනය ලබන 29 වැනිදා අධිකරණය හරහා සිය භාරයට ගනු ලබන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ පවසනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව සඳහන් කළේ අද (17) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.
මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසුවේ, සත්‍ය වශයෙන්ම අදාල විමර්ශනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සාක්ෂියක් අනාවරණය කර ගැනිමට හැකි නිසා මෙම දුරකතනයෙන් විශ්ලේෂණ වාර්තා කැදවීමට අවශ්‍ය බවයි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයාගේ ජංගම දුරකතනය අධිකරණය හරහා සිය භාරයට ගෙන එහි විශ්ලේෂණ වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙසේද පැවසුවා.
“මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාලව සාක්ෂිකරුවකුට බලපෑම් කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් හා වින්දියතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළා. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ජංගම දුරකතනය පරීක්ෂාවේදී එම දුරකතන අංකය සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ ජංගම දුරකතනය සමග අතර හුවමාරුවූ වට්ස්අප් ඇමතුම් කිහිපයක් මකා දැමීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුණා.
එම සිද්ධිය පිළිබදව වැදගත් සාක්ෂියක් බවට පාඨලී චම්පිකගේ ජංගම දුරකතනය හේතුවක්. ඒ අනුව එම ජංගම දුරකතනය පොලිස් භාරයට ගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කර දුරකතන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය නිසා ඔහුගේ ජංගම දුරකතනය ලබා ගැනීමට අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණ නියෝගයක් ලබා ගත්තා.
ඒ අනුව අධිකරණ නියෝග ප්‍රකාරව ජංගම දුරකතනය ලබා ගැනීමට උත්සාහ දැරීමේදී ඔහු ඒ පිළිබදව අකමැත්ත ප්‍රකාශ කළා. පසුව ඒ ගැන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට කරුණු වාර්තා කළා. එදින ඔහුත් අධිකරණයට ඉදිරිපත් වුණා. ඒ අනුව අප්‍රේල් 29 වැනිදා ඔහු විසින් ඔහුගේ ජංගම දුරකතනය අධිකරණයට ඉදිරිපත් කරනවා.
ඒ අනුව රජයේ රස රස පරික්ෂකවරයා වෙත එම දුරකතනය ඉදිරිපත් කර වාර්තාවක් කැදැවිමට නියමිතයි.
මෙම වාර්තාව කැදවන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි සත්‍ය වශයෙන්ම මෙම විමර්ශනයට අදාළව ඉතා වැදගත් සාක්ෂියක් අනාවරණය කර ගැනිමට හැකි නිසා වාර්තා කැදවීම සදහායි”

