රටේ පවතින ආර්ථික සහ ව්‍යසන තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මහජන නියෝජිතයන් සහ ඉහළ රාජ්‍ය ආයතන දැඩි කැපකිරීම් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ සහ වරප්‍රසාද කප්පාදු කර එම මුදල් ජනතාව වෙනුවෙන් යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කරනවා.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, රට ගොඩනැගීමේ කාර්යය දේශපාලනඥයින්ගෙන්ම ආරම්භ කළ යුතු බවයි.
රටේ වත්මන් තත්ත්වය හමුවේ තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන බව පැවසූ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත් කර එම මුදල් සහන අරමුදලකට බැර කළ යුතු බවද ප්‍රකාශ කළා.
එමෙන්ම, දේශපාලනඥයින් සඳහා ඩබල් කැබ් රථ ගෙන්වීමට වෙන් කරන මුදල් ද මේ මොහොතේ රට ගොඩනැගීමේ අරමුදලට යොමු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ද ප්‍රකාශ කළා.
“ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි පාඩු ලබන ආයතනවල නිලධාරීන්ට ගෙවන බෝනස් දීමනා වහාම නතර කළ යුතුයි. ඒ මුදල් මේ වෙලාවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් යොමු කිරීම රජයේ වගකීමක්.”
රටෙහි වත්මන් ඩොලර් සංචිතය පිළිබඳව අදහස් දක්වමින් කරුණානායක පෙන්වා දුන්නේ, සංචිත වැය කරනවාට සාපේක්ෂව ඒවා නැවත පිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීම බරපතල ගැටලුවක් බවයි.
එබැවින් අපනයන තත්ත්වයන් කඩිනමින් ඉහළ නැංවිය යුතු බවද ඔහු පැවසුවා.
එමෙන්ම තෙල් මත යැපෙන විදුලි උත්පාදනය වෙනුවට පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම හරහා විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.
රට මුහුණ දී ඇති ආපදා තත්ත්වයන්ට සාපේක්ෂව මෙතෙක් ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නොමැති බවද මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හයවෙනි වාරිකය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට තිබූ බව සිහිපත් කළ රවී කරුණානායක, හදිසි ණය ලබා ගැනීමේ ක්‍රමවේදයන්ට වඩා වාරික ක්‍රමයට සහන ලබා ගැනීම රටට වාසිදායක බවද ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේදී රජය අනුගමනය කළ යුතු පිළිවෙත ගැන ඔහු මෙසේ අදහස් දැක්වුවා.
අයි.එම්.එෆ් එකට ගියාට අපේ කොන්ද කෙළින් තියාගෙන කටයුතු කරන්න ඕනේ. එතන දණ ගැසිය යුතු නැහැ.”යනුවෙන්ද රවී කරුණානායක මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

