පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිතකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර්සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙතකාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප‍්‍රවාහන මාධ්‍ය අන්තර්සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීමේ අරමුණ සහිත ව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යටත්ව, ප්‍රමුඛතා පදනම මත පහත සඳහන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

  • මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මූල්‍යකරණය යටතේ දැනට ඉදිකිරීම කටයුතු ආරම්භ කර ඇත).
  • අනුරාධපුර (දක්ෂිණ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ව ඇත).
  • අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ශක්‍යතා අධ්‍යයන සිදු කර මූලික කටයුතු අවසන් කර ඇත).
  • කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික ප්‍රවාහනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති Com Trans Master Plan මඟින් යෝජනා කර ඇත).
  • මොරටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (Com Trans Master Plan මඟින් යෝජනා කර ඇත).
  • රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් හඳුනාගෙන ඇත).
  • අවිස්සාවේල්ල, ගාල්ල, කටුනායක, කුරුණෑගල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව හඳුනාගෙන ඇත).
  • ගම්පහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව සහ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ දුම්රිය විද්‍යුත්කරණය යටතේ හඳුනාගෙන ඇත).
  • කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ගුවන්තොටුපොළ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත).
  • කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ යෝජනාවක් පරිදි හඳුනාගෙන ඇත).
  • කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත).

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #පොදුප්‍රවාහනය #ශ්‍රීලංකා #බහුවිධප්‍රවාහන #නගරසංවර්ධනය #ප්‍රවාහනමධ්‍යස්ථාන #කාර්යක්ෂමතා #ජාතිකප්‍රතිපත්තිය #TransitCities #UrbanDevelopment #PublicTransport

Share.
Leave A Reply

Exit mobile version