දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ වැටලීම් තුනකදී බලපත්‍ර නොමැතිව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මුලරස්ථානය සඳහන් කරනවා.
කල්මුණ පොලිස් වසමේ මාදවන් පාර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 4,620ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
බැරල් 22ක අසුරා තිබූ මෙම ඉන්ධන තොගය සමඟ කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසනවා.
මේ අතර, උඩදුම්බර පොලිස් වසමේ වෑතලාව හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 30ක් සන්තකයේ තබාගෙන සිටි 47 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය මැදමහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය පවසනවා.
ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී නවගමුව පොලිසිය විසින් සිදු කළ තවත් වැටලීමකදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් ලීටර් 30ක් සහ භූමිතෙල් ලීටර් 40ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඉන්ධන තොග සම්බන්ධයෙන් කල්මුණ, උඩදුම්බර සහ නවගමුව යන පොලිස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.


